ජනපති අනුර ජර්මානු ආයෝජකයින්ට ආරාධනා කරයි

ශ්‍රී ලංකාවේ  සංචාරක ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා පවතින හෙයින් එම ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ජර්මානු ආයෝජකයින්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ දී පැවසීය.

ජනාධිපතිවරයා  අද (13) පෙරවරුවේ බර්ලින්හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ දී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් (Tourism and Travel Industry Associations) සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් (Outbound Travel/Tour Operators) සමඟ හමුවකට සහභාගී වෙමින් මේ බව කීය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති සාධනීය පියවර පිළිබඳව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සංචාරක පහසුකම් වැඩි කිරීම, ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පෙන්වා දුන්නේය.

තිරසාර සංචාරක ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

සංචාරක කර්මාන්තයේ මානව සම්පත සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, සංස්කෘතික හා පාරිසරික සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය, පරිසරය ආරක්ෂා කර ගැනීම ආදි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවට මේ වන විට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර ජර්මනිය 04 වන ස්ථානයේ පසු වෙයි.  2024 වර්ෂයේ ජර්මානු සංචාරකයන් 136,000ක් මෙරටට පැමිණ ඇති අතර  මෙම වසරේ මැයි දක්වා කාලය තුළ එරට සංචාරකයන් 69,000ක් මෙහි සංචාරය කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

image 5e71b22409 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *