අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5,000ක් සහායකයින් ලෙස වනජීවි දෙපාර්තමේන්තුව වෙත කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබෙනවා.
නිලධාරින් සමග ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියා සිටියේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අඩුපාඩුවක්ව පවතින වාහන සංචිත ප්‍රමාණය ද වැඩි කරන ලෙසයි.
දිනෙන් දින ඉහළ යමින් පවතින වනඅලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රශ්න කිරීමට ලක් වුණා.
පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කුමන තත්ත්වයක් යටතේ වුවද වනඅලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවයි.
ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බව ද සදහන් කළා.
ග්‍රාමීය මට්ටමින් මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, දේශපාලන අධිකාරිය සහ ජනතාවද සහභාගි කර ගනිමින් මෙම ගැටලුවලට නිසි විසඳුම් ලබා දිය යුතු බවයි අවධාරණය කළේ.
මීට අමතරව ගම්මානවලට වනඅලි ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් යෝජිත කිලෝමීටර් 800කින් සමන්විත ආරක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16 ප්‍රතිෂ්ඨාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැලසුම් කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.