ලංකාව ඉන්නේ කාලගුණ අවදානමේ ඉහළ ම තැනක – මහාචාර්ය නිශාන්ගෙන් බරපතල හෙළිදරව්වක්

වර්තමාන ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වය ඉතා ම කෙටි කාලයක් තුළ අන්තගාමී ලෙස වෙනස් වන ආකාරය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.

අධික රශ්මිය, නියඟය, අධික වැසි, තද සුළං, අකුණු ගැසීම්, නාය යාම, ගංවතුර ඉවරයක් නැත.

එකක් පසුපස එකක් එයි. මෙම තත්ත්වය පිළිබඳ විද්වත් කතිකාවතකට අද එක්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිශාන් සකලසූරිය යි.

ඇමෙරිකානු භූගෝල විද්‍යාඥයන්ගේ සංගමයේ සහ ලෝක භූගෝල විද්‍යාඥයන්ගේ කොංග්‍රසයේ මෙන් ම ශ්‍රී ලංකාවේ ආපදා අවදානම් කළමනාකරණය සඳහා වූ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ද සාමාජිකත්වය දරන හෙතෙම මෙම ක්ෂේත්‍රයෙහි දිගුකාලීනව පර්යේෂණවල යෙදී සිටී.

  • වර්තමානයේ පවතින කාලගුණ වෙනස්වීම සාමාන්‍යයෙන් සෑම වර්ෂයක ම සිදුවන දෙයක් ද එසේත් නැත්නම් සුවිශේෂී තත්ත්වයක් ද? මේ තත්ත්වය තව කෙතරම් කාලයක් පවතී ද?

මෙය සත්‍ය වශයෙන් ම සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන ක්‍රියාවලියක් තුළ සිදුවන විශේෂ තත්ත්වයක් ලෙස සරලව දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජීවත්වන පුරවැසියන් වගේ ම මෙරට සංචරණයට පැමිණෙන අයත් පහසුවෙන් තේරුම් ගත යුතු දෙයක් තමයි අපේ රටේ දේශගුණයේ ස්වභාවය. සාමාන්‍යයෙන් දේශගුණය කියන්නේ යම්කිසි භූගෝලීය ප්‍රදේශයක වායුගෝලයෙහි පවතින වසර 30ක පමණ සාමාන්‍ය තත්ත්වයයි.

ඒ නමුත් යම් රටක සාපේක්ෂ සහ නිරපේක්ෂ පිහිටීමත්, එම ප්‍රදේශයේ භූ දර්ශනයත් හේතුවෙන් වසර පුරාම පවතින්නේ එක ම දේශගුණ ලක්ෂණ නොවේ. නිවර්තන දේශගුණ කලාපීය රටක් වශයෙන් කාලීනව සහ ප්‍රාදේශීයව දක්නට ලැබෙන කාලගුණික තත්ත්වයේ වෙනස්කම් අනිවාර්යයෙන් ම දක්නට ලැබෙනවා පමණක් නොව එය සාමාන්‍ය තත්ත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකාව සෑම වර්ෂයක ම දේශගුණික ඍතු 4කට මුහුණදෙන අතර ප්‍රධාන දේශගුණ කලාප 3ක් ද හඳුනාගත හැකි ය.

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ පෘථිවි සමකයට ආසන්න නිවර්තන කලාපයේ නිසාත් අරාබි මුහුදට සහ බෙංගාල බොක්කට මැදිව පිහිටීමත් ආදී සාධක හේතුවෙන් මෝසම් ඍතු දෙකකටත් අන්තර් මෝසම් ඍතු දෙකකටත් මුහුණ දෙනවා. සෑම වර්ෂයක ම මාර්තු සහ අප්‍රේල් දෙමසක කාලය ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ වර්ෂයේ පළමුවන අන්තර් මෝසමටයි. ඒ අනුව සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන් වීම හේතුවෙන් දැඩි උෂ්ණත්වයක් සහිත වියළි කාලගුණයක් අත්විඳීමට අපට පසුගිය කාලයේදී සිදු වුණා.

දැන් උදා වී ඇත්තේ නිරිතදිග මෝසම් කාලයයි. මෝසම් සුළඟත් සමග ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැසි වැඩියෙන් ලැබෙන සමයයි. එමගින් ශ්‍රී ලංකාවේ දකුණු සහ නිරිතදිග මධ්‍යම කඳුකරයට ඉදිරි මස දෙකක පමණ කාලය තුළදී මිලිමීටර් 2,500කට අධික වර්ෂාපතනයක් සාමාන්‍යයෙන් ලැබිය යුතුයි. ඒ නිසා තෙත් කලාපයෙන් ආරම්භ වන ගංගා පද්ධතිය සක්‍රිය වී ඒවායේ පහත් නිම්න ප්‍රදේශවල ගංවතුර තත්ත්ව ද මධ්‍යම කඳුකරයේ නාය යාම ද සමහර විටෙක හමන තද සුළං ද ක්‍රියාත්මක වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම ක්‍රියාවලීන්හි අන්තගාමී තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්.

එමෙන් ම මේ කාලයේ වියළි දේශගුණ කලාපයට පවතින්නේ වැසි රහිත හෝ වැසි අඩු කාලයක් බැවින් එම ප්‍රදේශවල කෘෂිකර්මාන්තයටත් ජන ජීවිතයටත් අවශ්‍ය වාරි ජලය සැපයෙන්නේ ද මෙම ජලය මුල්කොටගෙනයි. එනිසා මෙම දේශගුණ තත්ත්ව දේශගුණ අභියෝග මිස ආපදා නොවේ. ඒවා ආපදා හෝ විපත් බවට පත්වන්නේ ආපදා කළමනාකරුවන් වශයෙන් අප ඒවා කළමනාකරණය කරන ආකාරය අනුවයි.

  • අපේ රටේ කාලගුණික තත්ත්වය වෙනස් වීමට ලෝක තත්ත්වය බලපා තිබෙනවා ද?

අනිවාර්යයෙන් ම, ලෝකයේ මානව ප්‍රජාව, රටවලට සහ විවිධ ප්‍රදේශවලට බෙදී සිටියත් ලෝකයේ ඕනෑ ම ප්‍රදේශයක, රටක දේශගුණය හෝ කාලගුණික තත්ත්වයට ගෝලීය තත්ත්වයන්හි බලපෑම අතිශය සාමාන්‍ය දෙයක්. අපි ශාස්ත්‍රීය බසින් මෙයට කියන්නේ “දිය සයන තුලන මූලධර්මය” (water bed principle) කියා. ඒ කියන්නේ පෘථිවියේ ඕනෑම තැනෙක සිදුවන වෙනස්වීමක් සමස්ත පෘථිවියට ම විවිධ අයුරින් බලපානවා. ඒ කියන්නේ පෘථිවියේ පවතින සියල්ලක් ම එකිනෙකට සම්බන්ධව පවතිනවා පමණක් නොවෙයි ඒවා එකිනෙක මත යැපීමක් ද සිදුවෙනවා.

ඒවායේ ප්‍රතිඵල මානවයාගේ වාසියට පරිවර්තනය කර ගැනීම ජයග්‍රහණ හැටියටත් අවාසිදායක තත්ත්ව ආපදා හැටියටත් පෙන්වා දෙනවා. උදාහරණ හැටියට සූර්යාලෝකය මගින් විදුලිය නිපදවනවා. එය වාසියක්, එමගින් ඇතිවන වාෂ්පීකරණය නිසා ලුණු හදන්නත් පුළුවන්. එනිසා ම ඇතිවන නියඟය අපට පාලනය කිරීමට හැකි වූවොත් එය ආපදාවක් වෙනවා. මේ අනුව පසුගිය සියවස් දෙක තුන තුළ සිදුවුණු ෆොසිල ඉන්ධන දහනයත් වනාන්තර හායනයත්, පුනර්ජනනීය නැත්නම් නැවත නැවත ඇති නොවන බලශක්ති මූලාශ්‍රවලින් ලබා ගන්නා බලශක්ති පරිභෝජනය ඉහළ යාමත් සමස්ත ලෝකයට ම බලපානවා. එය අපටත් බලපානවා. ඒවාට මුහුණ දෙන ආකාරය අනුව එම විපත්වල ස්වභාවය වෙනස් වෙනවා.

පසුගිය වර්ෂ කිහිපය පුරා ම නිකුත් වූ ලෝකයේ දේශගුණ වාර්තාවලට අනුව 2018, 2019 සහ 2020දී ගෝලීය “දේශගුණ ආපදා පාත්‍රතා දර්ශකයේ” (GVI) පිළිවෙළින් 4, 2 සහ 6 වන ස්ථාන ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රටවලින් එකක් බවට වාර්තා වුණා. එමෙන් ම 1990-2020 අතර කාලය තුළ පමණක් ඩොලර් බිලියන 7කට වැඩි වාර්තාගත හානියක් සිදු කර ඇති පුනරාවර්තන ආපදා හේතුවෙන් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් පීඩාවට පත් වන බව එක්සත් ජාතීන්ගේ ආපදා අවදානම් අවම කිරීමේ කාර්යාලය (UNDRR)ද පෙන්වා දෙනවා.

  • කාලගුණික තත්ත්වය වෙනස් වීම සමඟ රට පුරා ඇතිවිය හැකි අවදානම් තත්ත්වය මොන වගේ ද? නාය යෑම් අවදානම් ඇති කලාපවල සිටින ජනතාව දැනුවත් විය යුත්තේ කෙසේ ද? ඒවාට මුහුණ දීමට සූදානම් විය යුත්තේ කොහොම ද?

නිරිතදිග මෝසම් ඍතුව තදින් ක්‍රියාත්මක වන ඉදිරි දෙමසක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග දේශගුණික කලාප අනුව වෙනස් වනවා. මධ්‍යම කඳුකරයේ, දකුණු, නිරිත සහ බටහිර බෑවුම්වල අධික වර්ෂාපතනය සමග නාය යාම් සිදුවීම සුලභ විය හැකියි.

මේ නිසා මෙම ප්‍රදේශවල පදිංචි ජනතාව ශ්‍රී ලංකාවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ජනමාධ්‍ය හරහා ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. තෙත් කලාපීය ගංගා ආශ්‍රිතව පහත් නිම්න භූමිවල පදිංචිකරුවන් ශ්‍රී ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ඉහත දක්වන ලද ආයතනවල උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍යයි.

විටින් විට තද සුළං හමනවිට ගස් අතු සහ ගස් කඩා වැටීම සිදු වියහැකි නිසා අවබෝධයෙන් කටයුතු කිරීමෙන් අවදානම අවම කරගත හැකියි. විශේෂයෙන් ම යම් විපතක් හෝ අනතුරක් ඇති වේ යැයි සිතෙන විටෙක එය ළඟ ම ඇති පොලිස් ස්ථානයකට, 117 සහ 0112136136 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට හෝ ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට හෝ ග්‍රාම නිලධාරිතුමාට දැනුම්දීමට කාරුණික වන්න. එමෙන් ම ආපදා සහ ආපදා සිදුවූ ස්ථාන නැරඹීමට යෑමෙන් අනිවාර්යයෙන් ම වළකින ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. එය ආපදා කළමනාකරණයට විශාල බාධාවක්.

එම වියළි සුළඟ වියළි කලාපය පුරා පවතින වියළි බව වාර්ෂික ඍතුමය නියඟයක දක්වා වර්ධනය කරයි. උතුරේ සහ වන්නි හත්පත්තුවේ ජනයා වැසි නොමැති මේ වේගවත් සුළංවලට කියන්නේ කච්චාන් සුළං කියායි. මේ සුළඟ අගෝස්තු දක්වා ම පවතිනවා. පසුව එළඹෙන සැප්තැම්බර් සහ අගෝස්තු මස වට දෙවන අන්තර් මෝසම් කාලය තුළ ලැබෙන අසනි වැසි කිහිපයක් සහ ඊසානදිග මෝසම් කාලයේදී එනම් නොවැම්බර්වල වැසි ඍතුව එනතෙක් මෙහි නියඟයක් පවතී. එක ම රටේ දෙපසක ගංවතුර සහ නියඟය එකම කාලයක ඇතිවන්නේ මේ අනුව යි.

මේ නිසා මහා වාරිමාර්ග සහ මධ්‍ය වාරි යටතේ වගා කරන ජනතාව, ගොවි සංවිධාන සහ ජල ඉන්ජිනේරුවන් සමග සාකච්ඡා කොට ජලය අරපරෙස්සමින් භාවිත කළ යුතුය. එමෙන් ම ඉදිරි මස දෙකක වියළි කලාපීය ඍතුමය ජල හිඟයට මුහුණදීම සඳහා සුළු වාරි යටතේ වගා කරන එල්ලංගා වැව් ආශ්‍රිත ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදෙන දින දහයේ කාලගුණ පුරෝකථනය අනුව ජලය කළමනාකරණය කිරීම ඉතා ම වැදගත්.

  • නාය යාම් වැනි ආපදා දිනෙන් දින ඉහළ යනවා. විවිධ අනතුරු මේ නිසා සිදුවෙනවා. නාය යාම් වැනි ස්වාභාවික ආපදා ඉහළ යාමට බලපා ඇති හේතු මොනවා ද?

අපගේ පර්යේෂණ අනුව පැහැදිලිව පෙනෙන්නේ වැරදි මානව ක්‍රියාකාරකම් මේ සඳහා හේතුවන බවයි. මා ඉහතදී පෙන්වා දුන් පරිදි ගෝලීය දේශගුණ විපර්යාස හේතුවෙන් සිදුවන අන්තගාමී තත්ත්වයන් ලංකාවට බලපාන ගංවතුර, නියඟ, සහ කෙටි කාලයක් තුළ මිලිමීටර් 100 ඉක්මවා ලැබෙන වැසි, ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශ නාය යාම සහ පහත් ප්‍රදේශ ජලයෙන් යට වීම් සිදුවෙයි. මීට අමතරව පර්යේෂණවලින් තහවුරු වන පරිදි, කඳුකර ප්‍රදේශවල මාර්ග, ගොඩනැගිලි, නිවාස, හෝටල්, අවිධිමත් ලෙස ඉදිකිරීම, අංශක 60 වැඩි බෑවුම්වල වන ආවරණය ඉවත් කිරීම, භූමි පරිහරණ රටාවල සිදුවන වෙනස් කිරීම් සහ අවිධිමත් වගා රටාවන් මේ සඳහා බලපාන බව පෙනෙනවා.

  • පාරිසරික ආපදා කලින් හඳුනා ගැනීමට අපේ රටේ තාක්ෂණය තිබෙනවා ද?

අනිවාර්යයෙන් ම. මා මීට පෙර සඳහන් කළ තාක්ෂණික ආයතන වගේ ම මධ්‍යම පරිසර අධිකාරියත් තවත් රාජ්‍ය ආයතන බොහොමයක් සහ ශ්‍රී ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවල ද ඊට අදාළ තාක්ෂණය සහ දැනුම පවතිනවා. නමුත් මේවාට මුහුණ දීමට යන අධික වියදම් දැරීමට අපගේ ආර්ථිකයට ඇත්තේ අඩු හැකියාවක්. පවතින අර්බුද හමුවේ ජනතාව සහ ආපදා කළමනාකරණයට සම්බන්ධ ආයතන ව්‍යුහය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව මේ සඳහා කටයුතු කරන ආකාරය ප්‍රශංසනීයයි. නමුත් ජනතාවගේ, විශේෂයෙන් තමන් ජීවත්වන ප්‍රදේශය කුමන ස්වභාවයක එකක්දැයි තේරුම් ගැනීම ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ පවතින පාරිසරික විවිධත්වය සහ අප මුහුණ දෙන ස්වාභාවික මෙන් ම මානව ජනයා ආපදා අභියෝග පිළිබඳ දරුවන්ට කියා දීමට ඇති ඉඩහසර නම් වහාම වර්ධනය කළ යුතුය. අපගේ මවුබිමේ පාරිසරික සශ්‍රීකත්වය විවිධ අයුරින් විනාශ කරන සියලු දෙනා එය සුරැකීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

Source – Mawbima

Leave a Reply

Your email address will not be published. Required fields are marked *