වසා ඇති දුම්රිය ගේට්ටු හරහා ගමන් ගන්නා වාහන අත්අඩංගුවට ගන්න තීරණය කරයි

දුම්රිය ගේට්ටු වසා තිබියදී ඒ හරහා අනාරක්ෂිත අයුරින් ගමන් ගන්නා රථවාහන අල්ලා අධිකරණය වෙත ඉදිරිපත් කරන වැඩපිළිවෙළ රට පුරා තීව්‍ර කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසයි.

අවිස්සාවේල්ල පාදුක්ක දුම්රිය හරස් මාර්ගය හරහා පසුගිය මාස හතර පුරා අහඹු ලෙස නිරීක්ෂණය කර අත්අඩංගුවට ගත් යතුරුපැදිකරුවන් දහනවයක් හා ත්‍රි රෝද රථ දෙකක් හෝමාගම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කර සිදු කළ නිරීක්ෂණයෙන් පසු දෙපාර්තමේන්තු ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව සඳහන්ය.

විනයවත් රටක මාර්ග විනය ප්‍රබල සාධකයක් බව පවසන දුම්රිය ආරක්ෂක නියෝජ්‍ය අධිකාරි ජයන්ත නානායක්කාර දුම්රිය ආඥා පනත මාර්ග විනය සඳහා ක්‍රියාවට නැංවීමට යොදා ගන්නා බව පැවසීය.

දුම්රිය ආරක්ෂක අංශය පාදුක්ක පොලීසිය හා එක්ව පාදුක්ක දුම්රිය හරස් ගේට්ටුව අසල සිදු කළ මෙම රථ වාහන වැටලීමේදී එක් අයකුට රුපියල් 25000 බැගින් රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක දඩ මුදලක් හෝමාගම අධිකරණය විසින් පනවා තිබුණි.

අවිස්සාවේල්ල, පාදුක්ක මෙම නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත අවිස්සාවේල්ල දුම්රිය ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *