ආණ්ඩුව ගැන මිනිස්සු සතුටු නැහැ – හිටපු ජනපති රනිල් කියයි

ආණ්ඩුව මෙතෙක් කළ දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වී නැතැයි  පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ට ලක්ෂ විසි තුනක් අඩුවීමෙන් හොඳින්ම අවබෝධ වන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප  මූලස්ථානයේදී පැවසීය.

සාමාන්‍යයෙන් ජනපතිවරණයක් සහ මහා ඡන්දයක් ජයග්‍රහණයෙන් පසුව පවත්වන පළාත් පාලන මැතිවරණයකදී ආණ්ඩුවේ ඡන්ද වල වර්ධනයක් සිදු විය යුතු වුණත් මෙවර පුංචි ඡන්දයේදී ආණ්ඩුවට විශාල පසු බෑමක් අත්වී තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා කීය.

රනිල්  වික්‍රමසිංහ මහතා මේ බව කීවේ  පළාත් පාලන ආයතන වලට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ සභිකයන් ප්‍රතිඥාව දීමේ උත්සවය අමතමිනි.

ඔබ දිවුරුම් දී පළාත් පාලන ආයතන වල වැඩ බාර ගත යුතුව තිබෙනවා.ඔබ සියලු දෙනාටම අප විශේෂ පුහුණුවක් ලබා දෙනවා.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමටත් පක්ෂ සංවිධාන කටයුතු ගැනත් පුහුණුවක් ලබා දේවි.

මේ ඡන්දය පැවැත්වුණේ පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණයෙන් පසුවයි.එය විශේෂ ඡන්දයක්.සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එවැනි ඡන්දයක් පැවැත්වූ විට වැඩිම ඡන්ද ලැබෙන්නේ බලය තිබෙන ආණ්ඩු පක්ෂයටයි.නමුත් මෙහිදී ඊට වඩා දෙයක් වුණා.

 මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් යළිත් වරමක් ඉල්ලුවා.ඔවුන්ට කලින් දුන් වරම තහවුරු කරන්නැයි කිව්වා.නමුත් සිදු වුණේ කුමක්ද?

පාර්ලිමේන්තු ඡන්දයේ දී ලැබුණු ලක්ෂ 68 ක ඡන්ද ප්‍රමාණය ලක්ෂ 45ක් දක්වා අඩු වුණා.ඒ කියන්නේ ලක්ෂ විසිතුනක පිරිසක් ආණ්ඩුවට අදාළ සහතිකය ලබා දුන්නේ නැහැ.

ඒ කියන්නේ පළමු වතාවට ආණ්ඩුව වැටුණා.සාමාන්‍යයෙන් වරම ඉල්ලුවා නම් වරම ලැබෙන්න ඕන.වරම ලැබෙන්නේ නැතිනම් ඒක විශාල පසුබැසීමක්.ඒ කියන්නේ මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

(ඡායාරූප: ප්‍රදීප් පතිරණ)

image 79cda2b006 Iri News
image a4b9fc588c Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *