ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කටයුතු ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම පෙන්නුම් කරමින්, පැරණිතම ගුවන්තොටුපළක් වන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ජාත්‍යන්තර ගුවන්යානා නඩත්තු සහ අලුත් වැඩියා කටයුතු සඳහා (MRO – Maintenance, Repair and Overhaul) විවෘත කර තිබෙනවා.
ඒ සමගම ශ්‍රී ලාංකේය ගුවන් සේවා ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වසර ගණනාවක් පුරාවට ජාත්‍යන්තර ගුවන්යානා නඩත්තු කටයුතු සඳහා වෙන් නොවුණු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළට, පූර්ණ නඩත්තු සහ අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් කැනේඩියානු ගුවන්සමාගමකට අයත් සෙස්නා 208B (Cessna 208B) මාදිලියේ ගුවන්යානයක් පසුගියදා (06) පැමිණියා.
ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන ලද මෙම ගුවන්යානයේ සියලු නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු රත්මලාන ගුවන්තොටුපළ අංගනයේදී සිදුකරන්නේ ගුවන්යානා නඩත්තු ක්ෂේත්රයේ වසර 10කට අධික පළපුරුද්දක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගුවන්යානා නඩත්තු හා අලුත්වැඩියා (Aircraft Maintenance, Repair and Overhaul services) ආයතනයක් වන Ceylon Aeronautical Services (CAS) ආයතනය විසින්.
රත්මලාන ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්යානා නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා විවෘත කිරීම, ශ්‍රී ලංකාව අනාගතයේ දී ගුවන්සේවා නඩත්තු කටයුතු සහ තාක්ෂණික කටයුතු සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ස්ථාන ගතවීමේ ආරම්භක පියවරක් බව ගුවන්සේවා කර්මාන්ත විශේෂඥයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.