රවි කරුණානායක සහ ඇලෝසියස්ට ඇති චෝදනා ඔප්පු කරන්න පැමිණිල්ල ලෑස්ති බව දැනුම් දෙයි

සාක්ෂිකරුවන් 53 ක් සහ ලේඛන 40ක් සූදානම්

දුන්න අයයි ගත්ත අයයි විත්තිකරුවන් කළ පුදුම නඩුවක් – ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක හා පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් යන විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා අධිකරණය හමුවේ දී සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සූදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඊයේ (12දා) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේදී පැවැසීය.

පළමුවන විත්තිකාර රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ බිරිඳ හා දියණියන් සමග කොල්ලුපිටිය ඩොනෑක් සුපිරි නිවාස සංකීර්ණයේ පිහිටි අංක 5 පී. එච්. 2 දරන නිවසේ පදිංචිව ඇත්තේ එම නිවස දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් සමාගම්වල මුදලින් රුපියල් ලක්ෂ 116 ක් වැයකර බදු ගිවිසුම් මත ලබාගත් බව දැනුවත්ව වන්නේ යැයිද අධිකරණයට පැවැසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා හයම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම සඳහා සාක්‍ෂිකරුවන් 53 දෙනකු හා පසු ලේඛන 40ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයිද වැඩිදුරටත් පැවැසීය.

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2016.2.12 සහ 2016.9.30 කාලය අතරතුරදී පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමට අනුබද්ධිත සමාගම් විසින් ලබාදුන් නිවසක පදිංචියට යෑම සහ ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පෙරකී විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පවරා තිබූ නඩුවේ සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට පෙර පැමිණිල්ලේ දේශනය පවත්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා එලෙස පැවැසීය.

එම නඩුවේ සාක්‍ෂි විභාගය ඊයේ (12දා) ආරම්භ කෙරිණි.

පළමුවන විත්තිකාර රවි කරුණානායක මහතා එම සමයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ බව සත්‍ය නමුත් ඔහුගේ අමාත්‍යාංශ විෂය පථයට ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් බැංකු ආයතන අයත් නොවූ බව විත්තිකාර රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට පැවසීය. පැමිණිල්ලේ නම් සඳහන් අය සිය සේවාදායකයාගේ බිරිඳ හා දියණියන් බව විත්තිය පිළිගන්නා නමුත් ඔවුන් එම නිවසේ පදිංචිව සිටි බව පිළිනොගන්නේ යැයිද පැවැසූ රියෙන්සි අර්සකුලරත්න මහතා අල්ලසක් ලෙස හෝ තුටු පඬුරක් ලබාගත් අය විත්තිකරු කර තුටු පඬුරු ලබාදුන් අය පැමිණිලිකරු ලෙස නම් කර නඩු ගොනු කිරීම සාමාන්‍ය ක්‍රියාදාමය වුවත් අල්ලස ලබාගත්තේ යැයි කියන අය මෙන්ම ලබාදුන්නේ යැයි කියන පාර්ශ්ව දෙකම විත්තිකරුවන් ලෙස නම් කර ඇති මෙම නඩුව පුදුම සහගත නඩුවක් වන්නේ යැයිද පැවැසීය. සිය සේවාදායකයා විත්තිකරුවකු ලෙස නම් කර ඇතත් එකී නිවස ගැනීම සඳහා මුදල් වැය කළේ යැයි කියන ඔහුට අයත් සමාගම විත්තිකරුවකු ලෙස නම් කිරීම සිදුකර නොමැත්තේ යැයි දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා එහිදී අධිකරණයට පැවැසීය.

පැමිණිල්ලේ තුන්වන සාක්‍ෂිකරු ලෙස නම් කොට තිබූ නඩුකරයට පාදක වූ නිවසේ ගිවිසුම සකස් කළේ යැයි කියන නීතිඥ සමාගමේ නීතිඥ මයිකල් ක්ලේ මහතා පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබාදුන්නේය. වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන ජනවාරි 16 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුැර මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.

රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්‍ෂ්මන් පෙරේරා මහතා හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහකාර අධ්‍යක්‍ෂ මහත්වරු දෙදෙනකු සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය විය. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පර්පෙචුවෙල් ටේ්‍රෂරීස් සමාගම ලබාදුන් මුදලින් රුපියල් ලක්‍ෂ 116 ක් වැය කර කුලී පදනම මත ලබාගත් කොල්ලුපිටිය මොනෑක් සුපිරි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක පදිංචි වීම, ඒ සඳහා ආධාර අනුබලදීම මගින් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් 2020 වසරේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.

එකී නඩු පැවැරීමට එරෙහිව රවි කරුණානායක මහතා විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම 2025.6.2 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කිරීමෙන් පසුව නඩු විභාගය මහාධිකරණයෙන් ආරම්භ කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *