හිටපු ජනපති රනිල්ට මහාධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය සියල්ල සූදානම් කරයි

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන පැමිණිල්ල ලබන අප්‍රේල් 29 වැනිදා කැඳවීමට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක විත්තිකරුවන් ලෙස නම් කරමින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එංගලන්තයේ වුල්ෆ් හැම්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පෞද්ගලික විදෙස් සංචාරයකට ගොස් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් රජයට පාඩු කරන ලදැයි පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන ගොනුව අධ්‍යයනය කරමින් අදාළ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවැරීමට අවශ්‍ය අධි චෝදනා පත්‍ර ළඟදීම සකස් කරන බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම නඩුව විශේෂ අධිකරණ නඩු කටයුත්තක් ලෙස සලකා එය විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් (Trial-at Bar) පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස්, කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත දන්වා තිබේ.

ඒ අනුව ප්‍රමාදයකින් තොරව විත්තිකරුවන්ට අධිචෝදනා ගොනු කර ලබන අප්‍රේල් 29 වැනිදාට පෙර අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නීතිපතිවරයා​ වෙත දැනුම් දී තිබේ.

අදාළ නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර තිබෙන හිටපු ජනාධිපති ලේකම් ඒකනායක බණ්ඩාර මුදියන්සේලාගේ සොමිසාර බණ්ඩාර ඒකනායක හෙවත් සමන් ඒකනායක මෙම මස 11 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

සැකකාර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්අකුරු පරීක්ෂාවක් කිරීමට නියමිත අතර ඒ අනුව නීතිපති උපදෙස් මත සැකකරු රජ​යේ අත්අකුරු පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට නියමිත බව සතිඅග අරුණට වාර්තා වෙයි.

මෙම නඩුවේ පළමු සැකකරු වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ ලිඛිත දේශන ඔහුගේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතැයිද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *