සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය – පරිසර අමාත්‍යාංශය එක්ව 5G තාක්ෂණය සමඟින් රොබෝ තාක්ෂණය යොදා ගනිමින් ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රියව එකතු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි.
සාගරයට සහ වෙරළට සමුද්‍රීය අපද්‍රව්‍ය එකතු වීම දිනෙන් දින වැඩි වෙමින් පවතී. සමුද්‍රීය අපද්‍රව්‍යවලින් සියයට 80කටත් වඩා වැඩි ප්‍රමාණයක් ගංගා, ඇළ දොළ වැනි රට අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ සාගරයට ගලා එයි. එම අපද්‍රව්‍ය සාගරයට ඇතුළු වීමට පෙර එකතු කර පාලනය කිරීම සඳහා මේ මෙම රොබෝ යාත්‍රාව හඳුන්වාදීම සිදු කෙරිණි.
පවිත්‍රතාව ඉහළ නැංවීමේ අරමුණින්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරුවෙකු වන Dialog Axiata PLC සමාගම එක්ව නවෝත්පාදන ව්‍යාපෘතියක් ලෙස ඊයේ (11) කොළඹදී මෙය ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය යටතේ, 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රොබෝ යාත්‍රාව ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා දෙනු ලැබිණි.
මෙම ස්වයංක්‍රිය රොබෝ යන්ත්‍රය, ජලය මත පාවෙන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව එකතු කිරීමේ හැකියාවෙන් යුක්තය.
5G තාක්ෂණයේ ඉහළ වේගය සහ අඩු ප්‍රමාද වේලාව හේතුවෙන්, රොබෝ යන්ත්‍රය දුරස්ථව සිට පවා නිරවද්‍යව සහ තථ්‍ය කාලීනව මෙහෙයවීමට සහ අපද්‍රව්‍ය හඳුනාගැනීමට හැකි වේ.
මෙම නව රොබෝ තාක්ෂණය හඳුන්වාදීම සඳහා අවශ්‍ය වන සියලුම අනුග්‍රාහක දායකත්වය Dialog Axiata සමාගමෙන් ලැබෙන අතර, මෙහි සමස්ත මෙහෙයුම් කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරනු ලබයි. මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතාගේ සහ Dialog Axiata PLC සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් බේරේ වැව කේන්ද්‍ර කරගනිමින් සංකේතාත්මකව ඊයේ (11) ආරම්භ විණි.