පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙනවා – සාලිය පීරිස් ජනපතිට උත්තර දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රතිචාර දක්වා තිබුණි.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. 

ඔහු ඉන් සඳහන් කර තිබුණේ 2022 වසරේ මැයි 09 වැනිදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවය.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුවන බවත් සාලිය පීරිස් පවසයි.

2022 මැයි මාසයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා කිසිවිටෙකත් පුද්ගලයන් ගැන ඉදිරිපත් කළ ඒවා නොව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ ඒවා බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.

දේශපාලනඥයන් මෙන් තමා කිසිවිටෙකත් සිය පෞද්ගලික අවශ්‍යතා රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නොමැති බව සාලිය පීරිස් සිය නිවේදනයේ දක්වා ඇත.

එමෙන්ම පෞද්ගලික වාසි තකා හෝ තනතුරුවලට ගිජු වී තමා සිය ප්‍රතිපත්ති පාවාදී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *