සංගාගේ උපදෙස් නිසා ශතකය ලබා ගත්තා – ජොස් බට්ලර් සාර්ථක වීමේ රහස කියයි

පෙරේදා (16 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 31වන තරගයේදී සුනිල් නරේන්ගේ ශතකය සමගින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලබාදුන් ලකුණු 224ක ඉලක්කය සාර්ථකව හඹා යමින් කඩුලු 2ක ජයක් සඳහා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම මෙහෙයවීමට නොදැවුණු ශතකයක් රැස් කළ ජෝස් බට්ලර් සමත් විය. මීට පෙරද මෙවැනි දස්කමක් දැක්වූ බට්ලර් අප්‍රේල් මස 6 වැනිදා පැවැති රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලුරු කණ්ඩායම සමග තරගයේදී විරාට් කෝලිගේ ශතකය සමගින් හිමිවූ ලකුණු 184ක ඉලක්කය හඹායාමේදී නොදැවුණු ශතකයක් රැස් කළේය.

රාජස්තාන් කණ්ඩායමේ මෙම ලකුණු 242ක හඹා යාම අයි. පී. එල්. තරගාවලියක කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය ඉහළම ලකුණු ගණනේ වාර්තාව සම කිරීමක් වන අතර මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුනේද රාජස්තාන් කණ්ඩායම විසින්ම වීම විශේෂත්වයකි. එහිදී ඔවුන් 2020 වසර තරගාවලියේදී පංජාබ් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 224ක ඉලක්කය හඹා යමින් ලකුණු 226ක් රැස් කිරීමට සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් සුනිල් නරේන් පන්දු 56කදී ලකුණු 109ක් රැස් කළ අතර ඒ සමගින් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ශතකයක් සහ කඩුලු 5 අවස්තාවක් සහිත එකම ක්‍රීඩකයා බවට පත් විය. නරේන්ගේ ඉනිම සමගින් කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 223ක් රැස් කළේය. රාජස්තාන් ඉනිමේ පන්දුවාර 14ක් අවසන් වන විට කඩුලු 6ක් දැවී රැස් කර තිබුනේ ලකුණු 128ක් පමණක් වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 96ක් අවශ්‍ය විය. එතැන් පටන් බට්ලර් ලකුණු රැස් කිරීම වේගවත් කළ අතර ඉනිමේ අවසන් පන්දුවාර 3 සඳහා සම්පූර්ණයෙන්ම ඔහු පන්දුවට මුහුණ දීම විශේෂත්වයකි. අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජයග්‍රාහී ලකුණ වාර්තා කරන විට බට්ලර් පන්දු 60කදී ලකුණු 107ක් රැස් කිරීමට සමත්ව තිබුණි.

මෙය බට්ලර්ගේ 7වන අයි. පී. එල්. ශතකය වන අතර ඔහු දෙවැනි වන්නේ ශතක 8ක් රැස් කළ විරාට් කෝලිට පමණි. තරගයෙන් අනතුරුව දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ලබා ගනිමින් බට්ලර් සඳහන් කළේ ‍රාජස්තාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කුමා‍ර් සංගක්කාර විසින්, කඩුල්ල අපතේ නොහැර කඩුල්ලේ රැඳී සිටිමින් පිතිකරණයේ නිරත වන ලෙස තමාට උපදෙස් ලබා දුන් බවයි. එවිට සිය රිද්මය සොයා ගැනීමට හැකි වනු ඇති බව ඔහු පැවසූ බවත්, තමාට පසුගිය කාලය පුරාවටම එය උපකාරී වූ බවත් බට්ලර් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *