ගංවතුරේ විනෝද වෙමින් සිටි පාසල් සිසුවා ටියුබ් එක පෙරළී මිය යයි

බද්දේගම, ගනේගම බටහිර ප්‍රදේශයේ පාසල් සිසුවෙක් දියේ ගිලී පෙරේදා (05 වෙනිදා) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි බද්දේගම පොලිසිය කියයි.

ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයම ජලයෙන් යටවී තිබෙන අතර වගුරු බිමක් සහිත ස්ථානයක ජලයේ විනෝද වෙමින් සිටියදී මෙකී අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇත.

එම සිසුවා ඇතුළු තවත් පිරිසක් ටියුබ්වල නැගී ගංවතුරේ විනෝද වෙමින් සිට ඇති අතර එම සිසුවාගේ ටියුබය ඔහුගෙන් ගිලිහී සිසුවා සැඩපහරකට ගසාගෙන ගොස් තිබේ. අවට සිටි පිරිස් විසින් ඔහු බේරාගෙන බද්දේගම දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එම සිසුවා ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙලෙස මියගොස් තිබෙන්නේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ඉගෙනුම ලබන පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 වියැති නයන තත්සර නමැති පාසල් සිසුවෙකි. නර්තන අංශයේ ඉහළ දක්ෂතා පෙන්වන සිසුවෙක් වූ ඔහු විද්‍යාලයීය පෙරදිග තූර්යවාදක ඛණ්ඩය සහ මඟුල් බෙර කණ්ඩායම නියෝජනය කළ දීප්තිමත් සිසුවෙකි. ඔහු බද්දේගම ගනේගම බටහිර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *