තම පන්තියේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරුන් 58ක් වහාම මාරු කරයි

තම පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මුදල් අය කර උපකාරක පන්ති නොපවත්වන ලෙස මධ්‍යම පළාතේ පාසල්වල ගුරුවරුන්ට දැනුම් දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයට අවනත නොවී අමතර පන්ති පැවැත්වූ විදුහල්පතිවරයකු ඇතුළු ගුරුවරුන් 58 දෙනකු වෙනත් පාසල්වලට මාරු කර යැවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ගුරුවරුන්ට නිකුත් කර තිබූ චක්‍රලේඛ තමන්ට වලංගු නැතැයි පවසමින් ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු තම විදුහලේ දරුවන්ට මුදලට අමතර පන්ති පවත්වා තිබෙන බවත් එම විදුහල්පතිවරයාට අමතරව තවත් විදුහල්පතිවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත් පළාත් අධ්‍යාපන අමත්‍යාංශය පවසයි.

මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන මහනුවර හා ඒ අවට ජනප්‍රිය පාසල්වල ඇතැම් ගුරුවරු චක්‍රලේඛයට පිටුපා අමතර පන්ති පවත්වන බවට ලද තොරතුරු මත අදාළ ස්ථාන වැටලීම සඳහා පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කර තිබෙන අතර මවුපියන්ගෙන් ලැබෙන පැමිණිලි මත අදාළ ඒකකයේ කණ්ඩායමක් අමතර පන්ති පවත්වන ස්ථාන නිරීක්ෂණය කර ඒ සම්බන්ධයෙන් ලබාදෙන වාර්තාවක් පදනම් කර ගනිමින් විමර්ශන සිදු කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

වාර විභාගවලදී පාසල් මට්ටමින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී උපකාරක පන්ති පවත්වන ගුරුවරු තමන්ගේ පන්තිවලට සහභාගි වන දරුවන්ට වැඩි ලකුණු ලබා දෙමින් පන්තිවලට සහභාගි නොවන ළමයින්ගේ මවුපියන්ට එම උපකාරක පන්තිවලට සහභාගි වන ලෙස බලපෑම් කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පසුගිය කාලයේදී පැමිණිලි රැසක් ලැබී ඇත.

ළමුන් සහ මවුපියන් අපහසුතාවට පත් කරමින් තමන්ගේම පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන්ට අමතර පන්ති පවත්වන ගුරුවරු සම්බන්ධයෙන් කිසිදු බලපෑමකට යටත් නොවී විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *