ආර්ථික අර්බුදය හේතුවෙන් පාසල් සිසුන්ගෙන් සියයට පනස් තුනකට පාසල් බෑගයක්වත් ලබා ගැනීමට නොහැකි වී ඇති බව නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි.
එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (14 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ මේ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයකින් තහවුරු වී ඇති බවයි.
දැනට පාසල් යන ළමුන් සංඛ්‍යාව ලක්ෂ හතළිස් තුනකි. එහෙත් ශිෂ්‍ය ප්‍රජාවෙන් 129000ක සංඛ්‍යාවක් පාසල් ගමන නතර කර ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
මෙය රටේ අනාගතයට බරපතළ ප්‍රශ්නයක් බවත්, බුද්ධිමත් ශ්‍රී ලාංකීය සමාජයක් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදි මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.
‘‘අනික් කාරණය තමයි ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව. අපේ සමස්ථ ජනගහනයෙන් ලක්ෂ 28ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවෙලා තිබෙනවා. ඒ කියන්නේ ජනගහනයෙන් 1/8ක් මේ උගුලේ හිර වෙලා. මේ නිසා මෑත කාලීනව 200කට වඩා සියදිවි නසාගෙන තිබෙනවා. ඒ වගේම මේ ලක්ෂ 28න් ලක්ෂ 24ක් කාන්තාවෝ. මේක ඉතාම ශෝචනීය තත්ත්වයක්. ආණ්ඩුව කඩිනමින් මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි.’’