නිතියට පිටින් තම පාසලේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරුන් 51කට වැඩ වරදියි – වහාම මාරු කරයි

පාසලේ තම පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මුදල් අය කර උපකාර පන්ති නොපවත්වන ලෙස චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබියදීත් ඊට පටහැණිව කටයුතු කරමින් මුදලට පන්ති පැවැත් වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරු 51 දෙනකු ඔවුන් සේවය කළ පාසල්වලින් වෙනත් පාසල්වලට මාරු කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබිණ.

ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි හා සිංහල විෂයන් සඳහා මුදල් අයකර පාසලේ තමන්ගේම පන්තියේ සිසුන්ට අමතර පන්ති පවත්වන ගුරුවරු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී තිබුණු පැමිණිලි පදනම් කර ගනිමින් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍රලේඛයක් පසුගිය වසරේ ජුනි මස නිකුත් කරනු ලැබීය. මෙම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් ඇතැම් ගුරුවරු අමතර පන්ති පවත්වන බවට ලද තොරතුරු මත අදාළ ස්ථාන වැටලීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කරනු ලැබීය. ඇතැම් ගුරුවරු තම පන්තියේ දරුවන්ට තමන්ගේ අමතර පන්තියට සහභාගි වන ලෙස බලපෑම් කරන බවට ද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී ඇත.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු විගස වැටලීම් ඒකකයේ කණ්ඩායමක් අදාළ ස්ථානවලට යොමු කර තොරතුරු ලබා ගැනීමෙන් පසු විධිමත් විමර්ශනයක් සිදු කර චක්‍රලේඛය උල්ලංඝනය කළ ගුරුවරුන් වෙනත් පාසල්වලට මාරුකර යැවීමට පියවර ගත් බව මේනක හේරත් මහතා කීය.

මාරුවීම් ලද ජනප්‍රිය පාසල්වල ඇතැම් ගුරුවරු විවිධ බලපෑම් සිදු කර මාරු කිරීම් අවලංගු කර ගැනීමට කටයුතු කරන බව ද වාර්තා වේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙසේ අමතර පන්ති පැවැත්වීමේ වැඩි ප්‍රවණතාවක් කලකට පෙර තිබූ නමුත් මේ වන විට ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ද අමතර පන්ති පැවැත්වීමට ඇතැම් ගුරුවරු පෙලඹී ඇතැයි අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේය.

තම අයිතිවාසිකම් පිළිබඳ මෙන්ම යුතුකම් හා වගකීම් පිළිබඳව ද ගුරුවරු මෙන්ම ගුරු සංගම් අවධානය යොමු කළ යුතුව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *