මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක ප්‍රසිද්ධ කිරීමෙන් පසු දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පමණක් තොරතුරු 2000 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පැවැසීය.
පේරාදෙණිය හන්දෙස්ස මාම්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර ලබාදීමේ පුනරුත්ථාපනය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදී ඇමැතිවරයා මේ බව කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.
බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් සියයට 72ක්ම මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදිවලට අත්අඩංගුවට පත් වූවන්. එලෙස ඇබ්බැහි වූවන් අතර භික්ෂුන් වහන්සේලා, පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන් රාජ්‍ය සේවකයන්ද සිටිනවා. සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්න පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක ප්‍රසිද්ධ කළා. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කතා කරලා කිව්වා මේ වනවිට 2000 කට අධික තොරතුරු ප්‍රමාණයක් දකුණු පළාතින් විතරක් ඇවිල්ලා තිබෙනවා කියලා. දකුණු පළාතින් විතරක් 2000 ක් ආවා නම් අනෙක් පළාතුත් ගත්තම කොතරම් ව්‍යාප්තියක් මේකේ තිබෙනවාද කියලා අවබෝධ කර ගන්න පුළුවන්.
අනතරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ධාරිතාව 200 යි. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ යටතේ කන්දකාඩු, සේනපුර වගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ධාරිතාව 1500 ක් විතර. තවත් පෞද්ගලික ආයතන 10-15 ක් තිබෙනවා. මත්ද්‍රව්‍ය ව්‍යාප්තියත් එක්ක පුනරුත්ථාපන කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන අන්තරායාකර ඖෂධ පාලක මණ්ඩලයත් අධිකරණ අමාත්‍යාංශය යටතේ තිබෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයත් ඒකාබද්ධ කර පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගත්තා. ඉදිරි වසරේ දී සෑම දිස්ත්‍රික්කයම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් විවෘත කරනවා.