සීගිරිය ගල් පඩිපෙළ වේගයෙන් ගෙවෙයි – යකඩ පඩිපෙළක් දාන්න යයි

සීගිරිය ගල් පඩිපෙළ වේගයෙන් ගෙවෙමින් ඇතැයි බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

සංචාරකයන් විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණීම හේතුවෙන් මෙලෙස ගල් පඩිපෙළ ගෙවීමට ලක්ව ඇතැයි කී ඒ මහතා ගල් පඩිපෙළ තව කොපමණ කාලයක් භාවිත කළහැකි දැයි කාල නිර්ණය කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයි ද කීවේය.

සීගිරියේ ගල් පඩි ඉවත්කර ඒ වෙනුවට ග්‍රැනයිට් පඩිපෙළක් යෙදීම හෝ ගල් පඩිවලට ඉහළින් යකඩ පඩි පෙළක් යෙදීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි ද හෙතෙම පැවසුවේය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට හැටක් (60%) ක් පමණ සීගිරිය නැරඹීමට පැමිණෙන බවත්, ලබන වසරේදී (2026) පමණක් සීගිරියට සංචාරකයන් ලක්ෂ 18ක් පමණ පැමිණෙතැයි බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *