ගංවතුරෙන් එක් වූ කැලිකසල ඉවත් කිරීමට සජබයට බලය හිමි ගම්පොල නගර සභාව අසමත් වෙයි

 දරුණු ගංවතුර තත්ත්වයෙන් යට වූ ගම්පොල නගරයේ, ගංවතුරෙන් පසු ඉතිරි වූ කැලිකසළ හා සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සජබයට බලය හිමි ගම්පොල නගර සභාව දැඩි අසාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සිටින බව වාර්තා වේ.

ගංවතුර පහව ගියද, පවතින මෙම කසළ තත්ත්වය හේතුවෙන් නගර වැසියන් දැඩි පීඩාවකට මුහුණ දී සිටිති.

ප්‍රදේශවාසීන් අපේක්ෂා කළේ නගර සභාව කඩිනමින් මැදිහත් වී කසළ ඉවත් කරනු ඇතැයි කියාය. ඒ අනුව, ජනතාව විසින් නිවෙස්වලින් හා වෙළෙඳසැල්වලින් ඉවත් කළ කැලිකසළ නගර සභාව විසින් ඉවත් කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඇතැම් ස්ථානවල ගොඩගසා තිබේ.

කෙසේ වෙතත්, ගංවතුර තත්ත්වය පහව ගොස් දින කිහිපයක් ගත වී ඇතත්, ගම්පොල නගර සභාවට තවමත් මෙම කැලිකසළ කඩිනමින් හා කාර්යක්ෂමව ඉවත් කිරීමට සුදුසු යාන්ත්‍රණයක් හෝ සැලැස්මක් සකසා ගැනීමට නොහැකි වී ඇති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ අතර, ඇතැම් ස්ථානවල නගර සභාවේ කටයුතු යැයි කියමින් කසළ හා සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුවන නමුත්, ඒවා සිදුවන්නේ ඉතා අවිධිමත් ආකාරයට බවද පෙනී යමින් තිබේ.

පුවත් මූලාශ්‍රය – සිරස රාත්‍රී 07 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ​ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *