මාස 02ට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක් 05 ඉක්මවා යයි

2025 වසරේ මුල් මාස දෙක තුල මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ මේ වනවිට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය අපේක්ෂා කරන්නේ 2025 වසර තුළ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් මිලියන 3 ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහායි.

2024 වසරේදී බලාපොරොත්තු වූ පරිදි මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් මිලියන දෙකේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවුණා.

එම ක්ෂේත්‍රයේ තවදුරටත් සුබවාදී අපේක්ෂා දල්වමින් ලක්ෂ 5 ඉක්මවූ විදෙස් සංචාරකයින් පිරිසක් 2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණීම විශේෂත්වයක් වනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 5 වනදා දක්වා විදෙස් සංචාරකයින් 530,746 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම සංචාරකයින් වන 84,476දෙනෙකු පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි.

දෙවැනියට 70,000කට වැඩි සංචාරකයින් පිරිසක් රුසියාවෙන්ද , තෙවැනියට 50,000ස ඉක්මවූ සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන්ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මීට අමතරව ජර්මනිය, ප්‍රංශය, චීනය ඇතුළු රටවලින්ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර මාර්තු පළමු දින 5 තුළ පමණක් පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන 37,768කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *