ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත මෙම වර්ෂයේ ජුනි මස 30 වැනිදා වන විට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් හිඟ බදු හා දඩ මුදල් වශයෙන් රුපියල් බිලියන 7.9ක මුදලක් අය වීමට ඇති බැව් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති ක්රම හා විධි පිළිබඳ කාරක සභා තෙවැනි වාර්තාවේ සඳහන් වෙයි.
මින් රුපියල් බිලියන 1.1ක් 2023 වසරට අදාළ හිඟ බදු හා දඩ මුදල් බව ද මෙකී වාර්තාවේ සඳහන්ය.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ පෙබරවාරි මස 28 වැනිදා ඇතැම් මත්පැන් නිෂ්පාදකයින් සමග මෙකී හිඟ බදු හා දඩ මුදල් අය කර ගැනීම සඳහා ගිවිසුම්වලට එළඹ තිබුණි. ඒ අනුව ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ හිඟ බදු හා දඩ මුදල වන රුපියල් මිලියන 1656ක මුදල 2024.11.29 දිනට පියවීම, හිඟුරාන ඩිස්ටිලරිස් සමාගමේ හිඟ බදු හා දඩ මුදල වන රුපියල් මිලියන 102ක මුදල 2024.05.15 දිනට පියවීම, සිනර්ජි ඩිස්ටිලරිස් සමාගමේ හිඟ බදු හා දඩ මුදල වන රුපියල් මිලියන 38ක දඩ මුදල 2024.07.26 දිනට පියවීම, රෝයල් සිලොන් ඩිස්ටිලරිස් සමාගමේ හිඟ බදු සහ දඩ මුදල වන රුපියල් මිලියන 79ක මුදල 2024.06.26 දිනට පියවීම සම්බන්ධයෙන් ගිවිසුම්ගතව තිබුණි.