ක්‍රීඩකයින්ම සාකච්ඡා කරමින් හෙට තරගයේ වෙනස්කම් කරයි

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගය හෙට (08) පැවැත්වීමට නියමිතව තිබේ.

එම තරගය ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර අප වාර්තාකරු පැවසුවේ එම ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය පසුගිය දින කිහිපයේ ඉතා වැඩි අගයක් ගත් බවය.

ඒ අනුව අද දිනයේ ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 35ක් ලෙස පැවතුණි.

මේ අතර හෙට දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා පවසා සිටියේ, පළමු තරගය අපේක්ෂිත මට්ටමට ළඟා නොවූ බවය.

ඒ අනුව අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ම සාකච්ඡා කර ඉදිරියට කළ යුතු වෙනස්කම් කවරේ ද යන්න පිළිබඳ තීරණයක් ගත් බවත් ඔවුන් මානසිකව හොඳ තත්ත්වයක සිටින බවත් තිළිණ කණ්ඩම්බි මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ජාත්‍යන්තර 20යි 20 තරග 16ක් පවත්වා ඇති අතර ඉන් තරග 11කම ජය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම හේතුවෙන් හෙට බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක තරගයක් වේ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට උදෑසන 6ට ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *