අද (05) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වී තිබේ.
එහිදී යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මෙහිදී රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳවද සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මීට විසඳුම් ලෙස නව තාක්ෂණය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා යොදා ගැනීමෙන් කාර්යක්ෂමව සේවා සැපයීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමුව ඇත.
දෙපාර්තමේන්තුවෙහි නව ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකා රේගුව තුළ පවතින අක්‍රමිකතා තුරන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මානව සම්පත් කළමනාකරණය, නව බඳවා ගැනීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කරවා තිබේ.
පසුගිය වසරේ රේගුව විසින් අත්කර ගන්නා ලද ආදායම් ඉලක්ක මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර මෙවර ඉලක්ක ගත ආදායම සපුරා ගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ බව සඳහන් වේ.