රුපියල ශක්තිමත් වීම නිසා මෙරට විදේශ ණය රුපියල් ට්‍රිලියන 0.25 කින් පහළ යයි

ශ්‍රී ලංකා රුපියල 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා සියයට 7 කින් පමණ ශක්තිමත් වී ඇති අතර ඒ හේතුවෙන් අපට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 0.25 කින් (දශම දෙකයි පහකින්) හෙවත් රුපියල් කෝටි 25,000කින් පමණ අඩුවන බව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.

ඔහු අනාවරණය කළේ අප අප්‍රේල් අවසානය දක්වා ගෙවීමට ඇති සමස්ත ණය තොගයේ වටිනාකම රුපියල් ට්‍රිලියන 8ක් පමණ වී ඇති අතර එයින් සියයට 45ක් ඍජු විදේශ ණය බවය. එම ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.65 කි. මෙයින් දළ වශයෙන් සියයට 7ක් අඩුවූ විට ගෙවීමට ඇති විදේශ ණයවල රුපියල් වටිනාකම ට්‍රිලියන 3.40 දක්වා පහළ බසී. ඉදිරියේදී රුපියල තවදුරටත් ශක්තිමත් වුවහොත් මේ මුදල තවත් අඩුවන බව මහාචාර්යවරයා අවධාරණය කරයි.

මෙහිදී සිදුව ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වසර මුල 360ක්ව තිබී අප්‍රේල් අග වනවිට 300 දක්වා අඩු වීමකි. එහෙත් අප ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණයේ අඩුවක් කිසිවිටෙක සිදු නොවන බව ඔහු කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *