ශ්‍රි ලාංකික වෛද්‍යවරයෙක් එංගලන්තයේ මාස්ටර් චෙෆ් කිරුළ දිනා ගනියි

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දමිළ පශු වෛද්‍යවරයකු වන බ්‍රින් (Brin Pirathapan) බ්‍රිතාන්‍ය රූපවාහිනිය තුළ විශාලතම ඉවුම් පිහුම් තරගය වන “මාස්ටර් චෙෆ් චැම්පියන් 2024” හි 20 වැනි මාලාව ජයග්‍රහණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සති අටක් පුරා දැඩි අභියෝග මධ්‍යයේ පැවති තරගයේ දී තරඟකරුවන් 57 දෙනෙකු පසුකරමින් බ්‍රින් අවසන් වටයේ අවසන් තිදෙනා අතරට තේරී පත්ව තිබූ අතර ඉන් ජයග්‍රහණය ලබා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු බ්‍රිතාන්‍ය කීර්තිමත් සූපවේදියෙකු වන ජෝන් ටොරෝඩ් සහ
ග්‍රෙග් වොලස් මෙම තරගයේ විනිශ්චයකරුවන් ලෙස කටයුතු කර තිබූ අතර ඔවුන් දෙදෙනා විසින් බ්‍රින් වෙත මාස්ටර් චෙෆ් කුසලානය පිරිනමා තිබෙනවා. ඒ අනුව 29 හැවිරිදි බ්‍රින්, මාස්ටර් චෙෆ් ඉතිහාසයේ කොටසක් බවට පත් වෙමින් දශක දෙකක කැපී පෙනෙන ශූරයන් සමග එක් වනවා.

ඔහුගේ ජයග්‍රාහී මෙනුවට ශ්‍රී ලාංකීය  රසයන් ඇතුළත්ව තිබීම ද විශේෂත්වයක්. තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් බ්‍රින් සඳහන් කර ඇත්තේ ඔහුට ආහාර පිසීම සම්බන්ධයෙන් ආශාව ඇති කර ඇත්තේ ඔහුගේ දෙමව්පියන් බවයි. කුඩා කල සිටම ශ්‍රී ලාංකීය දමිළ පසුබිමක හැදී වැඩුනු බ්‍රින්ට නිවසේ දී ඔහු අත්විඳි ආහාර, රසය පිළිබඳව ඉගෙනීමට සහ රසයන් නිර්මාණය කිරීමට පදනම ලබා දී ඇති අතර එතැන් සිට ඔහු විවිධ සංස්කෘතීන් සහ ආහාර පිසීමේ රටා සොයා බැලීමට පටන් ගෙන තිබෙනවා.

බ්‍රින් තමා ව හඳුන්වන්නේ ඔහුගේ පසුබිම, සංස්කෘතිය සහ ඔහුගේ දෙමාපියන් ඔහුට ලබා දුන් සියල්ලකම මිශ්‍රණයක් ලෙසයි. එමෙන්ම ඔහු ඔහුගේ දෙමව්පියන් ට විශේෂ ස්තූතියක් ද සිදුකර තිබෙනවා.

මාස්ටර් චෙෆ් තරගයේ විනිසුරු ජෝන් ටොරෝඩ් බ්‍රින් පිළිබඳව අදහස් දක්වමින් ඔහු අසාමාන්‍ය සහ පුදුමාකාර දක්ෂ කෝකියෙකු බව පවසා තිබෙන අතර විනිසුරු ග්‍රෙග් වොලස්, ඔහුගේ අත්දැකීම අනුව බ්‍රින් අද්විතීය බවත් මෙය ඔහු මෙතෙක් දැක ඇති විශිෂ්ටතම දක්ෂතා වලින් එකක් බවත් පවසා තිබෙනවා.

එමෙන්ම වැඩිදුරටත් සඳහන් වන්නේ, පසුගියදා පැවති මාස්ටර් චෙෆ් 2024 අවසන් තරගය, වසර විස්සක මාස්ටර් චෙෆ් තරග ඉතිහාසය තුල පැවති හොඳම අවසන් තරගය ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *