ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් මෙරට ඇගළුම් ඇණවුම් අවලංගු නොවෙයි

එක්සත් ජනපදයට සිදු කරන මෙරට අපනයන සදහා යෝජනා වී තිබෙන 44% ක තීරු බද්ද, අපගේ ඇගළුම් කර්මාන්තය අස්ථාවර තත්ත්වයකට ඇද දැමීමේ අවදානමක් නිර්මාණය කර තිබේ.

බද්ද පැනවීම දින අනූවකට කල් දැමීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය හේතුවෙන් බද්ද පැනවූ මුල් අවස්ථාවේ දී ඇති වූ දැඩි ආතතියෙන් දේශපාලන අධිකාරිය නිදහස් කර තිබුනද, කර්මාන්තකරුවන් තුළ වර්ධනය වූ කණස්සල්ල මුළුමනින්ම තුරන් කර දැමීමට එය හේතුවක් වී නැත.

මේ සම්බන්ධයෙන් ඩේලි එෆ්ටී පුවත්පත, ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිනී රාජිතා ජයසූරිය මහත්මිය සමඟ සාකච්ඡා කර තිබේ.

ඇය පවසන ආකාරයට, මේ අවස්ථාවේ දී; විශාල ලෙස සිදු වන “ඇඟළුම් ඇණැවුම් අවලංගු කිරීමක්” වාර්තා නොවේ. නමුත් ඇතැම් ඇණැවුම්කරුවන් දැනට ක්‍රියාත්මක වන 10% ක තීරු බද්ද සදහා හවුල්වන ලෙස නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම, ට්‍රම්ප් පනවා තිබෙන තීරු බද්ද ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව වඩා වැඩි පැහැදිලිකිරීමක් ලැබෙන තෙක්, ඇතැම් ඇණැවුම්කරුවන්, නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවන ලෙස මෙරට නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ.

ඇණැවුම් අත්හිටුවන ලෙස ඉදිරිපත් ව තිබෙන ඉල්ලීම මේ මොහොතේ ඉතා සුළු වශයෙන් වූ ඉල්ීමක් වුව ද, මෙය රැල්ලක් මෙන් පැතිර යාමේ අවදානමක් ද ඇති බව ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිනිය ඩේලි එෆ්.ටී සමග පවසා තිබේ.

ට්‍රම්ප්ගේ ඉහළ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් සහ යුරෝපා සංගමයෙන් ලැබෙන ජී.එස්.පී ප්ලස් සහනය අළුත් කර ගැනීමට අදාලව රජය ගන්නා ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ සංගමය සමීප කටයුතු කරමින් සිටින බව එහි සභාපතිනිය වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *