විවිධ ආයතන සතුව පවතින රජයේ ඉඩම් සියල්ල ඉඩම් කළමනාකරණ භාරයක් යටතට පවරා එම භාරය හරහා ආයෝජකයන්ට ඉඩම් ලබාදීමට රජය අවධානය යොමුකර ඇත.
මෙරට සමස්ත භූමියෙන් 82%ක් රජයේ හිමිකාරිත්වය යටතේ පවතින අතර, රජයේ සැලසුම අනුව මෙම ඉඩම් සියල්ලගේම පාලනය ඉඩම් කළමනාකාර භාරය යටතට පැවරේ.
මේ අනුව, රටේ භූමි ප්‍රමාණයෙන් දළ වශයෙන් වර්ග කිලෝමීටර් 51,000කට වැඩි ප්‍රමාණයක් මෙම භාරය යටතට පැවරීමට නියමිතය.
රජයේ හා රජයේ ව්‍යවස්ථාපිත ආයතන සතුව තිබෙන ඉඩම් පාලනය කළමනාකරණයට අදාළව මෙම ආයතනය ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ හරහා රජයේ ඉඩම් නීතිය ආරක්ෂා කිරීම, පාලනය කිරීම, ජාතික ඉඩම් කොමිෂන් සභාව විසින් සකස් කරනු ලබන රජයේ ඉඩම් භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බැහැර කිරීමේ කටයුතු කිරීම සඳහා අදාළ ආයතනයන්ට මගපෙන්වීමක් හා උපදෙස් ලබාදීමද සිදු කෙරේ.
ඉඩම් කළමනාකරණ භාරය ස්ථාපිත කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත.
රජයේ ඉඩම් බැහැර කිරීමේදී ආයතන ගණනාවකට බලය පවරා තිබෙන බැවින් ඉඩම් කළමනාකරණයේදී ඒකාබද්ධ ප්‍රවේශයක් නොතිබීම නිසා ආයෝජන කටයුතු සඳහා ඉඩම් නිදහස් කිරීමේදී අකාර්යක්ෂම තත්ත්වයක් උද්ගතව ඇති බැවින්, මේ නිසා රජයේ ආර්ථික ක්‍රියාවලිය තුළ සංවර්ධන අවස්ථාවන් ගිලිහෙමින් පවතින බවද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇත.
ඉන්දියාව, වියට්නාමය, බංග්ලාදේශය යන රටවල්වලට සාපේක්ෂව මෙරට ඉඩම් ආයෝජකයන්ට නිදහස් කිරීමේදී වසර දෙකකට වැඩි කාලසීමාවක් ඉක්මවා යෑම නිසා දේශීය හා විදේශීය ආයෝජකයන් අධෛර්යමත්ව කලාපයේ වෙනත් රටවල ආයෝජනවලට යොමුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයිද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
මෙම භාරය හරහා කෘෂිකාර්මික, කර්මාන්ත, බලශක්ති, සංචාරක, තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍රවලට අදාළව ආයෝජන සඳහා ඉඩම් නිදහස් කිරීමට අදාළව යාන්ත්‍රණයක් සකස් කිරීමට නියමිතය.