හදිසි පරීක්ෂාවකින් බස් රථ 26ක් ධාවනයෙන් ඉවත් කරයි – වාහන බලපත්‍රත් පොලිස් භාරයට

හැටන් බස් නැවතුම්පොළේ දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ හා පෞද්ගලික බස් රථ දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයාගේ හදිසි පරීක්ෂාවට ලක් කෙරුණා.

එම හදිසි පරීක්ෂාවේ දී ලංගම හා පෞද්ගලික බස් රථ 28ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඉන් ලංගම බස් 13 ක් හා පෞද්ගලික බස් 13ක් තාවකාලික ව ධාවනයෙන් ඉවත් කිරීමටයි දැනුම්දී ඇත්තේ.

හැටන් බස් නැවතුම්පොළේ සිට ධාවනයට එක් කර ඇති දුර සහ කෙටි දුර ධාවන ලංගම සහ පෞද්ගලික බස්රථ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා විසින් අද (02) දින මෙලෙස හදිසි පරික්ෂවකට ලක් කරනු ලැබුවා.

මීට හැටන් පොලිස් රථවාහන අංශ නිලධාරීන් ද එක් ව සිටි බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ධාවනයෙන් ඉවත් කළ බස් රථ දින 14ක් තුළ දී අලුත්වැඩියා කර, අදාළ දෝෂ සකසා යළිත් මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

එතෙක් එම බස් රථවල වාර්ෂික ආදායම් බලපත්‍ර නුවරඑළිය පොලිස් භාරයට ගැනුණා.

ගුණාත්මක සහ ආරක්ෂිත මගී ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් මෙම හදිසි පරික්ෂාව සිදු කළ බවත්, මෙවැනි පරික්ෂාවන් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා සිදු කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *