පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් සිදුකරන අනීතික හා විෂමාචාරි ක්‍රියාවන් ගැන පැමිණිලි කිරීම සඳහා වෙනම ඒකක ස්ථාපිත කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.
ඒ අනුව, අල්ලස් ඉල්ලීම්, ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගැනීම්, මුදල් ලබාගෙන අනීතික ලෙස කටයුතු කිරීම්, සාමාන්‍ය ජනතාවගේ පැමිණිලි භාර නොගැනීම, මෙන්ම භාරගෙන ඇති පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම් ඇතුළු වැරදි සම්බන්ධයෙන් මෙම ඒකක වෙත ඍජුවම පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී ද මේ සම්බන්ධයෙන් දැනුවත්කර තිබෙන බව ඉහත ආරංචි මාර්ග කීවේය. එහිදී පොලිස් නිලධාරීන් විසින් සිදුකරන අනීතික ක්‍රියාවන් ගැන මන්ත්‍රිවරු කරුණු දක්වා තිබෙන අතර විශේෂයෙන් මැණික් කර්මාන්තය ආශ්‍රිතව අල්ලස් ගැනීම් පිළිබඳවද කරුණු අනාවරණය වී තිබේ.
මෙම ඒකක ස්ථාපිත කෙරෙන්නේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මෙන් විශේෂ ඒකක ලෙස යැයි මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති පොලිස් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් සඳහන් කර තිබෙන බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව විසින් පොලිස් ප්‍රධානීන්ට ස්ථානාධිපතිවරුන්ට අවස්ථා රැසකදී ස්ථාන මාරුවීම්ද ලබාදී තිබේ.