වේරහැර ප්රදේශයේ සුපිරි වෙළඳසැලකට නිල ඇඳුමින් අතුලු වී භාණ්ඩ සොරකම් කළ පොලිස් නිලධාරියෙක් අල්ලාගෙන පොලිසියට භාරදීමට එම සුපිරි වෙළෙඳසලේ සේවකයින් කටයුතු කිරීම පිළිබඳ සිද්ධියක් වාර්තා වේ.
මෙම සිද්ධිය වාර්තා වන්නේ ඊයේ (14) පෙරවරු 11ට පමණය. නිල ඇඳුමින් සුපිරි වෙළෙඳසලට ඇතුළු වූ මෙම පොලිස් පුද්ගලයා රුපියල් 2240ක් වටිනා තේ කොල පැකට් දෙකක් සොරකම් කර තිබේ. සිදුවීම සීසීටීවී ඔස්සේ නිරීක්ෂණය කරන ආරක්ෂක අංශ වෙළෙදසලේ සේවකයින් සමග එක්ව ඔහුව අල්ලා රඳවාගෙන බොරලැස්ගමුව පොලිසියට සිද්ධිය සම්බන්ධව පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල අනුව ස්ථානයට යන බොරලැස්ගමුව පොලිස් කණ්ඩායමට සුපිරි වෙළදසල් සේවකයින් විසින් රඳවාගෙන සිටි නිල ඇඳුමින් සැරසුන පොලිස් පුද්ගලයා දැක ගත හැකි වී තිබේ. ඔහුව අත් අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කළ පොලිසිය අනාවරණය කරගන්නේ මේ තැනැත්තා මෝදර පොලිසියේ නිලධාරියෙක් බවත්, සිය රියදුරු බලපත්රය අලුත් කරගැනීමට වේරහැරට පැමිණි අවස්ථාවේ දි මෙම සොරකම සිදුකර ඇති බවත්ය.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා නුගේගොඩ මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කර ඇත.