නීති විරෝධී ලෙස වත්කම් උපයන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.
82,000කට අධික පොලිස් නිලධාරීන්ගෙන් ඉතා සුළු පිරිසක් දූෂිත, නීති විරෝධී සහ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
ඊයේ (17) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
කිසිදු නිලධාරියෙකුට මෙවැනි ක්‍රියාවලට ඉඩක් නොමැති බව අවධාරණය කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් සේවයේ සිටින දූෂිතයින් සහ අල්ලස් ගන්නා නිලධාරීන් නිරන්තරයෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පැවසීය.
මහජනතාවට විශ්වාසදායක පොලිස් සේවාවක් බිහි කිරීම නව පොලිස්පතිවරයාගේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා දූෂිත නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
සියලු පොලිස් නිලධාරීන් පිළිබඳව සුපරීක්ෂාවෙන් අධීක්ෂණය කරන බවත්, විශේෂයෙන්ම සියලුම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් වසරකට වරක් තම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු බවත් වුට්ලර් මහතා පැවසීය.
නීති විරෝධී ලෙස වත්කම් උපයා ඇති බවට තොරතුරු ලැබුණහොත් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම පියවර ගන්නා බවට පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.