විදෙස් සංචිතය ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ නංවා ගැනීමට මහ බැංකුව සමත් වෙයි

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,517 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 4,496 ක සංචිත වටිනාකම හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමකි.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,480 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2024 ජනවාරි මාසයේ විදේශ විනිමය සංචිත වටිනාකම වූ ඩොලර් මිලියන 4,426 ට වඩා 1.2% ක වැඩි වීමක් වේ.

මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4ක අගයයකට සමාන විනිමය හුවමාරු පහසුකම ද අන්තර්ගත වේ.

මේ අතර පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ, මේ වන විට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ඇති බවයි.

“2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ට වඩා අඩු අගයක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි අගයකට ඉහළ නැංවී තියෙනවා“, යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *