ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව ලෝක බැංකුව පවසයි. ඔවුන් අනුමාන කරන ආකාරයට, 2024 වසර සදහා ශ්‍රී ලංකාව 2.2%ක ආර්ථික වර්ධනයක් අත්කරගනු ඇත.
2022 වසරේ දී දැඩි ආර්ථික පසුබෑමකට ලක් වූ රට යළි ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බව ඉන් පෙනී යන නමුත්, තව දුරටත් රට තුළ දරිද්‍රතා මට්ටම සහ ආදායම් අසමානතා ඉහළ යාම දක්නට ලැබෙන බව ලෝක බැංකුව පවසයි.
“මේ වන විට රට තුළ උද්ධමනය පහළ වැටෙමින් පවතී. එමෙන්ම, අළුතින් ක්‍රියාවට නංවා ඇති මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් රාජ්‍ය ආදායමද ඉහළ ගොස් ඇති අතර, දශක පහකට පසුව පළමු වතාවට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී තිබේ,” ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම ලෝක බැංකු වාර්තාව පවසයි.
කෙසේ වෙතත්, දරිද්‍රතා මට්ටමින් පහළ ජීවත් වන ජනතාවගේ ප්‍රතිශතය සිව්වන වසරටත් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ලෝක බැංකුව පවසයි.
2023 වසරේ දී සමස්ත ජනගහනයෙන් 25.9% ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වූ අතර, එය 2024 වසරේ දී තව දුරටත් ඉහළ යනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරයි.
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් වසා දැමීම, කුටුම්බ ආදායම පහළ වැටීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සදහා අවශ්‍ය වියදම් පියවා ගැනීමට ණය වීමට සිදු වීම පොදු ජනතාව ඉදිරියටත් මුහුණ දෙන අභියෝග බව ලෝක බැංකුව පවසයි.