2025 වසරේ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවලින් දුම්රියේ හොරට ගිය හා තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කළ මගීන් 421 දෙනෙකු කොටුකර රුපියල් දහතුන් ලක්ෂ දහදාස් හැටක දඩ ආදායමක් රජයට ලබාදීමට දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීන් සමත්වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් අයගෙන්, පාසල් දරු දැරියන් හා විශ්වවිද්‍යාල සිසු සිසුවියෝද සිටිති. නමුත් පුරුද්දක් හැටියට කණ්ඩායම් වශයෙන් හොරට ගමන් කළ කාන්තාවන් 186ක් කොටුකර ගැනීමට සමත්වූ බවත් දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීහු පැවසූහ.
ප්‍රවේශපත්‍ර පරීක්ෂාව ප්‍රධාන, මුහුදුබඩ හා පුත්තලම යන මාර්ගවල ධාවනය වූ මුතුකුමාරි, බංගදෙණිය, සාගරිකා, සමුද්‍රදේවි, රඹුක්කන කොටුව යන කාර්යාල දුම්රියවල දෙවන පන්තියේ සිදු කර තිබිණ.
මීට අමතරව බම්බලපිටිය, කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, මහලේකම්, රත්මලාන ,රාගම හා දෙමටගොඩ දුම්රිය ස්ථානවල සිදු කළ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවන්හිදී කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කළ මගීන් කොටු කර ගැනීමට සමත්වී ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත දුම්රිය මූලස්ථාන පරීක්ෂක සුසිල් ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන්, කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී පාලිත පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කොටුව, මූලස්ථානය, නීති අංශය, කොළඹ බඩු ගබඩාව, දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය, පොල්ගහවෙල, රාගම, ප්‍රවාහන අමාත්‍යාංශය යන සේවා ස්ථානවල නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මේ වැටලීම් සිදු කර ඇත.