දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට ප්‍රමුඛව අත්‍යවශ්‍ය වන මානව සම්පත ඉහළ කළමනාකරණයකින් යුතුව පවත්වා ගැනීමත්, දිගු කාලීනව පවතින තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමත්, යටිතල පහසුකම් නවීකරණයත් වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය ආරම්භ කළ සැලසුම් සහගත වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ලෙස මෙම නව ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීම් සිදුකර තිබෙන බව අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඊට අමතරව දුම්රිය සේවාව විධිමත් සහ කාර්යක්‍ෂම සේවාවක් බවට පත්කරලීමේ රජයේ තිරසර ජාතික වැඩපිළිවෙල යටතේ දුම්රිය පරිපාලනය සහ ක්‍රියාකාරී යාන්ත්‍රණය බලගැන්වීම වෙනුවෙන් මේ වනවිටත් පියවර රැසක් ගෙන ඇති බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායකගේ උපදෙස් මත රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාරව 2025.09.28 වන දින පවත්වන ලද තරඟ විභාගයෙන් සමත්ව සුදුසුකම් ලැබූ 101 දෙනෙකු විවෘත පදනම මත iii වන ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරු ලෙස මෙසේ බඳවා ගෙන තිබෙනවා.
නවක දුම්රිය ස්ථානාධිපතිවරුන්ව පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් අද(.05) දින කොළඹ 10, මරදාන පිහිටි දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණා.
2024 වසරේ වත්මන් ආණ්ඩුව රට භාරගන්න විට තිබූ තත්ත්වය අභියෝගාත්මකයි. රටේ පරිපාලනය, රටේ ආර්ථිකය, ජනතාවගේ ජීවන තත්ත්වය, ප්‍රවාහන සේවා ඇතුලු සියලු ක්‍ෂේත්‍රවල බරපතල කඩා වැටීමක් එක්කයි මේ ආණ්ඩුව රටත්, ජනතාවත් භාරගත්තෙ.
මේ ආණ්ඩුවට දැන් වසරක් ගතවෙලා, ප්‍රගති සමාලෝචනයක් තිබෙනවා රටේ ආර්ථිකය ස්ථාවර කිරීම පිළිබඳව. නාස්තිය, දූෂණය, හොරකම පිටු දකිමින් දැඩි මූල්‍ය විනයක් සහිතව ඉලක්කවලට ගමන් කිරීමට ගත් ක්‍රියාමාර්ග රටේ ආර්ථික ස්ථායිතාවයට විශාල පිටුවහලක් වුණු බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පත්වීම් ලිපි බෙදාහැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළා.
දිට්වා ආපදාවෙන් ලොකු හානියක්, වැඩි පාඩුවක් දුම්රිය සේවාවට සිදුවුණේ. කොළඹ සිට රඹුක්කන දක්වා දුම්රිය මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජනතාවට සේවාව ලබාදුන්නා.
මහනුවර දක්වා ප්‍රධාන මාර්ගය, පේරාදෙණිය පාලම සමග නැවත ගොඩනැගීමට අති දැවැන්ත මුදලක් වැයවෙනවා.
ගම්පොල – නාවලපිටිය මාර්ගයට, උතුරු දුම්රිය මාර්ගයේ කොටස් සහ නැගෙනහිර මාර්ගයට විශාල වශයෙන් හානි සිදුවෙලා තියෙනවා.
මෙම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට විශාල මුදලක් වැයවෙනවා. නවීන තාක්‍ෂණය යොදා ගනිමින් තිබුණු තත්ත්වයට වඩා උසස් මට්ටමින්, ප්‍රමිතිගත නිමාවකින් නවීකරණ කටයුතු සියල්ල සිදු කරනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ 14,674 ක් වන සමස්ත කාර්ය මණ්ඩලවල මූලිකත්වයෙන් රාජකාරියට එහාගිය වගකීම් සහගත සේවාවක් ඉටුකර හිතුවාට වඩා ජයග්‍රහණ ලබාදුන්නා. ඔවුන් ඒ දැක්වූ වගවීමට රජය වෙනුවෙන් ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.