පිටරටින් ගෙන්වන ලද රථ වාහන කොටස් එකලස් කර කූට ලෙස ලියාපදිංචි කළ සුඛෝපභෝගී වාහන දසදහසකට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කළ ආකාරය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම විමර්ශනවලට අදාළව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පද්ධතිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එහි පිටපතක් ලබා ගැනීමට එම කොමිසම අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම කොමිසමට අදාළ අවසරය ලබා දුන්නේ ය.
මෙම වාහන වසර 15කට ආසන්න කාලයක් තිස්සේ මෙරටට ගෙන්වන ලද වාහන කොටස් යොදා සකස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ ද බව සඳහන් වේ.
එමගින් රජයට රුපියල් කෝටි සිය ගණනක පාඩුවක් සිදුව ඇති බව ද ඒ පිළිබඳව මේ වනවිට විමර්ශන සිදුවෙමින් පවතින බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණය වෙත දන්වා සිටියේ ය.
වාහන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එම තොරතුරු අදාළ පද්ධතියෙන් ඉවත් කර ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ පිළිබඳව විමර්ශන කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේ මෘදුකාංග පද්ධතියේ පිටපතක් ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කර තිබේ.
බැඳුම්කර වංචාවෙන් සිදුව ඇති අලාභයට වඩා අලාභයක් මෙම වංචාසහගත සිද්ධියෙන් සිදුව ඇති බවට අනාවරණය වන බව ද එම කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.
අදාළ විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව මෙම ජාවාරමට සම්බන්ධ ඕනෑ ම පුද්ගලයෙකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එම කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේ ය.