ගොවි සංවිධාන විසින් කුඩා වැව් වෙන්දේසි කර බද්දට දී ඇතැයි අනාවරණය වේ.
ගම් ප්‍රදේශවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් රැසක නඩත්තු කටයුතු ගොවි සංවිධාන විසින් සිදු කරන අතර, එම වැව්වල මත්ස්‍යයන් බෝ කිරීම ඇතුළු කටයුතු සිදු කරනු ලබන්නේද ගොවි සංවිධාන විසිනි.
ඒ අනුව මසුන් ඇල්ලීම, මල් කැඩීම ඇතුළු කටයුතු සඳහා වැව් බදු දී ඇත.
මේ සම්බන්ධව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්නගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ වැව්වල අයිතිය ඇත්තේ ගොවි සංවිධානවලට බවය.
ගොවි සංවිධාන විසින් වැව්ලව මත්ස්‍යයන් බෝ කිරීමෙන් අනතුරුව බද්දට ලබාදෙන බවත්, මෙහිදී වැව වෙන්දේසි කර එක පුද්ගලයකුට ලබාදෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය. මෙලෙස වැව බද්දට ලබාදෙන්නේ මාසයක පමණ කාල සීමාවකට බවද ඔහු කීවේය.
ඇතැම් වැව් රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර බදු මුදලකට ලබාදෙන බවත්, ගොවි සංවිධානවලට එම මුදල් වියදම් කිරීමේ බලය නොමැති බවත්, ගොවි සංවිධාන විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ගිණුම්වල එම මුදල් තැන්පත් කළයුතු බවත් ඔහු කීවේය.
අනුරාධපුර නගරය ආසන්න කලත්තෑව වැවද බදු දී තිබූ අතර වැවේ ගසක සඳහන්කර තිබුණේ ‘‘මෙම වැව බදු දී ඇත. අනවසරයෙන් දියට බැස මසුන් ඇල්ලීම සපුරා තහනම්’’ යනුවෙනි.