සමාජ මාධ්‍ය ඡායාරූප නිසා සබරගමුවේ සිසුවියන් 5කට මානසික පීඩන

සබරගමුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ සිසුවාට නවක වධය දුන් බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපවල සිටින බව කියන එම පීඨයේ සිසුවියන් පස් දෙනෙක් මානසික අවපීඩනයකට ලක්ව නිවෙස් බලා යාමට අවශ්‍ය බව ඊයේ (04 වැනිදා) වන විට පරිපාලන අංශවලට දන්වා තිබිණි.

ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම පස් දෙනාට නිවෙස් බලා යාමට අවශ්‍ය පහසුකම් සැලසෙන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර සිය දිවි නසා ගත් චරිත් දිල්ශාන් ශිෂ්‍යයා නවක වධයට ලක් වූ බවට පොලිසියට පැමිණිලි කළ සිසුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කර ඇති කමිටුව ද පියවර ගෙන තිබේ. එම සිසුන් කමිටුව වෙත කැඳවා ප්‍රශ්න කළ බව ඉහත ආරංචි මාර්ග කීවේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකයෝ දෙදෙනෙක් ද මෙම කමිටුව නියෝජනය කරති.

පොලිසි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර විශ්වවිද්‍යාලය මගින් කමිටුවක් පත් කර ඇත්තේ අභ්‍යන්තර පරීක්ෂණ සඳහා ය.

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් විශ්වවිද්‍යාලය ලබන 8 වැනිදා දක්වා වසා දමා තිබෙන අතර සියලුම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස ද දැනුම් දෙනු ලැබ තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *