රියැදුරු බලපත්‍ර මෘදුකාංග නඩත්තු වියදම රුපියල් මිලියන 156කින් අඩු කර ගැනීමට රජය සමත් වෙයි

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ මෘදුකාංගය නඩත්තුව සඳහා ලබාදුන් කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන156 කින් අඩුකර ගැනීමට හැකි වූ බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, වසර 13ක් තිස්සේ ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ වසරකට රුපියල් මිලියන 184 කට බවයි.

එහෙත් විදිමත් ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කරමින් එම කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 28 කට ලබාදුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ රියැදුරු හැඳුනුම්පත් කාඩ්පත් සඳහා වන ටෙන්ඩරය ද අඩු මුදලකට ලබාදීමට පියවර ගත් බවයි.

මෙතෙක් එම ටෙන්ඩරයට අනුව රියැදුරු හැඳුනුම්පතක් සඳහා රුපියල් 311ක් ගෙවීමට සිදුවිය.

එහෙත් නව ටෙන්ඩරයෙන් කාඩ්පතක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 263.80ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුක්කු මහතා ප්‍රකාශ කළේ ය.

පසුගිය කාලයේ ටෙන්ඩර් ක්‍රියාවලියේ සිදුවූ අක්‍රමිකතා රැසක් නිවැරදි කර ගැනීමට එමගින් අවස්ථාව ලැබුණු බව ද ඔහු සඳහන් කළේ ය.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව රියැදුරු හැඳුනුම්පත් කාඩ්පත් ලක්ෂ 8ක් මේ වනවිට අණවුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *