පුද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක ඉංජිනේරු උපාධිධාරියෙක් වන සැමියෙකු සහ පුද්ගලික විශ්වවිද්‍යාලයක මනෝ උපදේශන ඩිප්ලෝමාධාරිනියක් වන බිරිදක නිල් චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට හේතුව කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථික වශයෙන් අපහසුතාවට පත් වීම බව කියා ඇතැයි වාර්තා වේ.
එංගලන්තය කේන්ද්‍ර කරගෙන අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා නිල් චිත්‍රපට බෙදා හරින ප්‍රසිද්ධ වෙබ් අඩවියකට ලිංගික ක්‍රියා ඇතුළත් දර්ශන වීඩියෝගත කර දුන් අඹුසැමි යුවළක් නුගේගොඩ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අඹුසැමි යුවළ වසරක කාලයක් මේ වෙබ් අඩවියට ඔවුන් දෙදෙනාගේ වීඩියෝ දර්ශන 334ක් උඩුගත කර ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබුණි.
ශ්‍රී ලාංකේය යුවළක් පෙනී සිටින අසභ්‍ය වීඩියෝ දර්ශන එංගලන්තය කේන්ද්‍ර කර ගත් වෙබ් අඩවියක විකාශය වන බවට නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාට ලද තොරතුරකට අනුව ඔහුගේ උපදෙසින් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඇත්තේ නුගේගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂිකා චන්දිමා සපුගොඩ මහත්මිය ඇතුළු කණ්ඩායමකි.
ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල, රාජගිරියේ පිහිටි නිවෙසකදීය. ඔවුන් අවුරුදු 37 සහ 36 වයස්වල පසුවන්නන්ය.
මේ යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් පදිංචිව සිටි තෙමහල් නිවෙසේදීය. නිවෙස පිහිටි ගොඩනැඟිල්ලෙහි පහළ මහල දෙකේ බිරියගේ ඥාතීන් පදිංචිව සිටින අතර, අඹුසැමි යුවළ රැඳී සිටින්නේ තෙවැනි මහලේය. ඔවුන් නිල් චිත්‍රපට රූගත කර ඇත්තේ එහි සිටයි. ඒ සඳහා යොදා ගත් කැමරා, දුරකථන, පරිගණක උපාංග පවා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
එංගලන්ත සමාගමක් සමඟ ගිවිසුම්ගත වෙමින් 2024 නොවැම්බර් මාසයේ සිට තමන් නිල් චිත්‍රපට නිෂ්පාදනය කරන බව ද අඹුසැමි යුවළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ගිවිසුමට අනුව මසකට අවම වශයෙන් චිත්‍රපට 08ක් වත් දිය යුතුය. ඒ සඳහා රුපියල් ලක්ෂ එකහමාරක දෙකක පමණ මුදලක් ලැබෙන බව ද ඔවුන් පවසා ඇත.
මේ යුවළ දැන හඳුනාගෙන 2009 වසරේ විවාහවී ඇති අතර, ඔවුන්ට දරුවන් නැත. දෙදෙනාම පෞද්ගලික අංශයේ රැකියාවක නිරතව සිට ඇති බව සඳහන්ය. කොවිඩ් වසංගතයත්, ආර්ථික අර්බුදයත් හේතුවෙන් රැකියා අහිමිවීමෙන් අනතුරුව කන්න බොන්න පවා නොමැතිව දුක් විඳිමින් සිටි බව ද ඔවුන් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත.
මේ වෙබ් අඩවිය මෙරටදී නැරඹීමට මෑතක් වනතුරු අවස්ථාව දී නැත. එහෙත් මාස තුනකට පමණ පෙර සිට මෙරට සිට එම වෙබ් අඩවියට පිවිසීමට අවස්ථාවක් ලැබී ඇති බව ළමා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත. ඔවුන් දෙදෙනා විසින් ඉතා රහසිගතව කළ මේ කටයුත්ත ගැන පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ ඒ සමඟිනි.