දොස්තර පුතා රට ගියාම සුදුසුකම් නැති පියා ලෙඩ්ඩුන්ට බෙහෙත් දීලා – පුතාට වඩා තාත්තා හොඳ බව රෝගීන් කියයි

වෛද්‍යවරයකු වන සිය පුතා විදෙස් පුහුණුවකට ගිය පසු පුතාට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයේ මාස 08ක් තිස්සේ රෝගීන්ට ප්‍රතිකාර ලබාදුන් පියකු බියගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (06) අත්අඩංගුවට ගනු ලැබීය.

බියගම බණ්ඩාරවත්තේ ‘මාස් මෙඩිකල් සර්විස්’ නමින් පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව බියගම පොලිසිය සඳහන් කළේය.

අවුරුදු 66ක් වයසැති මෙම ව්‍යාජ වෛද්‍යවරයා ගුණහේරත් මුදියන්සේලාගේ සමන් බණ්ඩාර ගුණහේරත් නමැති අයෙකි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් විදෙස් වෛද්‍ය උපාධියක් ඇති අයකු බවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකියාවක් ඇති බවත්ය. එහෙත් එවැනි වෛද්‍ය උපාධියක් හෝ වෛද්‍යවරයකු ලෙස මෙරට කටයුතු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ලද අවසරයක්වත් මෙම සැකකරු සතුව නොතිබුණු බව ද පොලිසිය කියයි. විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම සැකකරුගේ පුතා රුසියාවේ වෛද්‍ය උපාධිධාරියකු බවය. ඔහු වෛද්‍යවරයකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් බව ද විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙම වෛද්‍ය මධ්‍යස්ථානය 2017 වසරේ සැකකරුගේ පුතා විසින් ස්ථාපිත කර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සේවය ආරම්භ කර තිබේ. වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා මෙම සැකකරුගේ පුතා 2023 වසරේ ජූලි මාසයේදී විදේශගතව ඇති බව පොලිසිය කියයි. පුතා විදෙස්ගත වීමෙන් පසු පියා විසින් වෛද්‍යවරයකු ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට පටන්ගෙන ඇති බව පොලිසිය කියයි.

වෛද්‍ය මධ්‍යස්ථානයේ ඇති ලේඛන පරික්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ මෙම කාලය තුළ මෙම සැකකරු රෝගීන් 800කට පමණ ප්‍රතිකාර කර ඇති බවය. වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට කිසිඳු සුදුසුකමක් නැති මෙම පුද්ගලයාගෙන් ප්‍රතිකාර ලබාගන්නට පැමිණෙන බොහෝ රෝගීන් පවසා ඇත්තේ පුතාට වඩා පියා හොඳ බවය. වෛද්‍යවරයකු නොවන අයකු වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන බවට ලද තොරතුරකට අනුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය වැටලූ බවත් එහිදී සැකකරු සතුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයකු ලෙස අනුමත ලියවිලි කිසිවක් නොතිබුණු බැවින් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරන්ද, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගමගේ, පොලිස් සැරයන් දේශප්‍රිය (85223), කාන්තා පොලිස් සැරයන් චමරි (2965) යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *