දකුණු කොරියාවේ ශ්‍රි ලාංකික එකමුතුව රුපියල් මිලියන 38ක් රජයට පරිත්‍යාග කරයි

හදිසි ආපදා තත්වය හේතුවෙන් තම සහෝදර ශ්‍රී ලාංකිකයන්ට අත්වූ ඛේදවාචකයත්, විනාශයත් දුටු ශ්‍රී ලාංකික තරුණයෙකු මැදිහත්ව ශ්‍රී ලංකා රුපියල් 38, 430, 000ක් අද (09) දහවල් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත ලබා දී තිබේ. දකුණු කොරියාවේ, ජුන්ජු (Jeonju) හී රැකියාව කරන ඔහු රෂින්ත ඥානේන්ද්‍ර නම් වෙයි.

පසුගිය සිකුරාදා (05) පෙරලා මෙරට ට පැමිණි රෂින්ත අද (09) රාත්‍රියේ දී යලිත් සිය රැකියාව සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. ඒ අතර තුර කෙටි කාලයක දී ඔහු මේ මුදල සොයාගත් ආකාරය පැහැදිලි කළේය.

“මම ගාල්ලේ. හරියටම කිව්වොත් ගාල්ල, අල්පියේ, පිටිගල. ඉස්කෝලේ ගියේ ඇල්පිටියේ ආනන්දෙට. මට දැන් අවුරුදු 34ක්. මම කොරියාවට ගියේ 2012 දී. මම විවාහකයි. මමත් මගේ බිරිඳත් ඉන්නේ කොරියාවේ. මම ඉන්නේ ජුන්ජු වල. මම එහේ ෆැක්ටරියක සුපර්වයිසර් කෙනෙක්.

මම කොරියාවේ ඉන්න ලංකාවේ අයට කොරියන් භාෂාව උගන්නනවා. මම කරන්නේ spoken Korean. මට එහෙදි කියන්නේ රෂින් හන්ගුක් කියලා.

ලංකාවට වෙච්ච දෙ අපි එහෙ TV වලින් දැක්කා. අපිට හිතා ගන්න බැරි වුණා අපේ රට ට වෙච්ච දේ. මම තනියම කල්පනා කළා මට මොනවද කරන්න පුළුවන් කියලා.මුලින්ම හිතුවේ බදු එකතු කරන්න. හැබැයි ඒක කල් යන වැඩක්. ඊට පස්සේ මම හිතුවා සල්ලි එකතු කරන්න. හැබැයි ඒක පරිස්සමින් කරන්න ඕන වැඩක්. ගන්න හැම won (කොරියන් මුදල් ඒකකය) එකකට ම වගකියන්න ඕනේ කියලා හිතුවා. කොරියාවේ ඉන්න අපේ අය හැම won එකක් ම හොයන්නේ බොහොම අමාරුවෙන්. මහන්සි වෙලා. දුක්විඳලා. ඒ නිසා ඒ සල්ලි වලට වංචා කරන්න බැහැ කියලා මම දැනගෙන හිටියා. ඊළඟ එක විශ්වාසය. සතයකට හරි කෙනෙක් මාව අවිශ්වාස කළොත් ලොකු අපරාධයක්.

මුලින් මම හිතුවා මේ වැඩේට තව අය එකතු කරගන්න. පස්සේ මම එකටත් බය වුණා. මට මාව විශ්වාස වුණාට තවත් කෙනෙක්ව සීයට සීයක් විශ්වාස කරන්න මම කැමති වුණේ නැහැ. මම හිතුවා මේක තනියම කරන්න.

මම ඉස්සෙල්ලාම කළේ මගේ එකවුන්ට එක සම්පුර්ණයෙන්ම හිස් කරපු එක. සාමාන්‍යයෙන් මම කොරියාවේ දී රුපියල් ලක්ෂ හය හතක් හොයනවා. ඒක එහෙ වියදමත් එක්ක මහා ලොකු ගාණක් නෙමෙයි. මගේ එකවුන්ට් එක තිබුණේ IBK (Industrial Bank of Korea) එකේ.

ඊට පස්සේ මගේ FB එකේ පළවෙනි පොස්ට් ඒක දැම්මා. ඒකේ මම ලිව්වේ ‘කොරියාවේ සිට ලංකාවේ ආපදා තත්වයට උපකාර කිරීමට එකතුවෙමු.. හැමෝම..’ කියලා. මම ඒක දැම්මේ නොවැම්බර් 28 වෙනි සිකුරාදා ලංකාවේ වේලාවෙන් 2.15ට.

ඊට පස්සේ 29 සෙනසුරාද උදේ 7. 54ට මම ලිව්වා ‘කොරියාවේ හැමෝම මිනිස්සු මහ පුදුම මිනිස්සු මේ වගේ දේකදී එකතු වෙනවා මහ පුදුම උනන්දුවෙන්. එකතුවෙලා අපිට පුළුවන් විදියට අපි අපේ යුතුකම කරමු..’ කියලා.

ඊළඟට නොවැම්බර් 29 වෙනිදාම රෑ 10.19ට මම මගේ FB එකේ දැම්මා එකතු වෙච්ච් සම්පූර්ණ ගාන. ඒක won 70,029,258ක්. මුළු කාලය පැය 12ක් විතර. මට ම පුදුමයි මාව දන්න නොදන්නා මිනිස්සු පැය දොළහක දී මාව විශ්වාස කරපු එකට. ඒ වගේම අපේ අය ලෝකේ කොහේ හිටියත් අපේ රටට ට ආදරය කරන තරම මට විශ්වාස කරන්නත් බැරි වුණා.

ඒ ගැන තියෙන මගේ බෑන්ක් එකවුන්ට් එකේ විස්තරය FB දාලා මම මෙහෙම සටහනක් තිබ්බා; ‘මේ තියෙන්නේ කොරියාවේ කොල්ලො කෙල්ලොන්ගේ දාඩිය මහන්සියේ ප්‍රතිඵල.

මට මේකට කියන්න ලොකු වචන නෑ..මේ හැම කෙනෙක්ම මාව විශ්වාස කරලා මේ සල්ලි ලබා දුන්නේ..ඒ හැමෝටම මම වගකියනවා; වගවෙනවා.

දවල් 12ට ගණුම් ශේෂය බිංදුව කරලා පටන් ගත්ත වැඩේ පැය 12ක් යනකොට බින්දු 8කට අරන් ගියා..

ආදරෙන් මතක් කරනවා හැමෝටම.

මට මේ සල්ලි වලින් කරන්න තරම් පුද්ගලික වැඩ නෑ

ඒ නිසා මේ සල්ලි ලංකාවේ අසරණ මිනිස්සු වෙනුවෙන්ම විතරක් භාවිතා වේවී..හැම සතයක්ම.

ඒක ගැන දශමයක ගැටලුවක් හිතේ කොනකවත් තියාගන්න එපා..

මේක මගේ වැඩක් නෙමෙයි අපේ වැඩක්…’

ඊට පස්සේ නොවැම්බර් 30 වෙනිදා රෑ 9.04 ට මම කිව්වා ‘හරියටම පැය 36 විනාඩි 30යි. තනි මාව විශ්වාස කළාට හැමෝටම බොහොම ස්තූතියි. දාන තරමක් සල්ලි හෙට උදෑසන 10වන විට දමා අවසන් කරන්න..’ කියලා.

නොවැම්බර් 30 වෙනිදා රෑ 9.36ට ආයමත් පණිවිඩයක් තියන්න වුණා. මම කිව්වා ‘කොරියාව නම් පිස්සුවක් ..ආදරෙයි මගේ මිනිස්සුන්ට..දානවා දානව ඉවරයක් නෑ..කොල්ලො ටික මේක 2억 කරන පාටයි. උදේ වෙද්දී 2억 කරමු’ කියලා.

ඊට පහුවෙනිදා ඒ කියන්නේ දෙසැම්බර් පළවෙනිදා කියන්නේ සඳුදා. සඳුදා පාන්දර 4.21 වෙනකොට වෙනකොට won 1.7 යි.

සඳුදා උදේ 8.33 වෙනකොට අපි ලංකාවේ සල්ලි වලින් රුපියල් 380ක් පැන්නුවා. ඒ වෙලාවේ මම FB පොස්ට් එකක් දැම්මා ‘හරියටම පැය 48යි. Account close. ලක්ශ 380කට වැඩියි’ කියලා.

ඒ මුළු මුදලම සතයක්වත් අඩු නැතුව අද හවස මම අගමැතිතුමියට බාර කළා. ඒ මුළු මුදල රුපියල් 38, 430, 000ක්.

මම ඒ මුදල් පරිත්‍යාගයේ ෆොටෝ එකක් දාලා මෙහෙම ලිව්වා; ‘ලංකාවේ අපදා තත්වය පිළිබදව දින දෙකක වෙහෙසකර නිරීක්ෂණයකින් පසුව ඔබ සැම ලබා දුන් මූල්‍යමය ආධාරයට විය යුතු සුදුසුම පියවර මා විසින් තීරණය කරන ලදි..

මේ මොහොතේ රට වැටී ඇත්තේ ඔබගේ මගේ සීමාවෙන් පිටත් බවත් එය සැබෑවටම ඇස් දෙකෙන් දැකගෙන මම තීරණය ගත් බවත් මුදල් ලබා දුන් සියලු දෙනාටම දැනුම් දෙමි..

මෙහි ගැබ්වී ඇත්තේ දකුණු කොරියාවේ තරුණ තරුණියන් ගේ සහ ව්‍යපාරිකයන්ගේ වටිනා දායකත්වයයි..

සෑම දෙනාටම ස්තූතිය පුදකර සිටින අතර මා විශ්වාස කළ සියළුම දෙනාගේ විශ්වාසය 100% ආරක්ෂා කළ බවත් මතක් කරමි..

මෙය ශ්‍රී ලංකාවේ ආපදාවට ලක්වූ අපගේ ජනතාවගේ ජීවිතය නැවත නගාසිටුවීමට රුකුලක් වනු ඇත..

All Done. Thank you!

감사합니다!”

මම සිකුරාදා ලංකාවට ඇවිත් යහළුවෙක්ගේ වාහනයකින් ලංකාව වටේ කිලෝ මීටර් 800ක් විතර ගියා. මම මගේ ඇස දෙකින්ම දක්වා සිද්ධ වෙලා තියෙන විනාශය. ඒ වගේම මේ ආණ්ඩුව ඒවෙනුවෙන් කරන වැඩ කොටසත් දැක්කා. ඒ නිසා කිසිම සැකයක් නැතුව අපි එකතු කරපු මුළු මුදලම ආණ්ඩුවට දුන්නා.

අද රෑ මම ආයෙත් කොරියාවට යනවා. අපේ ඉලක්කය රජයේ නිල එකවුන්ට් එකට කොරියාවෙන් ආධාර මුදල් එකතු කරන එක. ඒක රුපියල් කෝටි 10ක ඉලක්කයක්. පැය 48ක දී රුපියල් 380ක් එකතු කරපු අපිට ඒක කරන්න පුළුවන්. පුළුවන් නෙමෙයි අපි ඒක කොහොම හරි කරන්නම ඕනේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *