සිවිල් ආරක්ෂක බළකාය ගෙදර යවයි

යුද සමයේදී මායිම් ගම්මාන ආරක්ෂා කළ සිවිල් ආරක්ෂක බළකාය විසුරුවාහැරීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය.

හතළිස් දහසක් පමණ සිටින එම බළකායේ එක් සෙබළකුට රුපියල් ලක්ෂ තිහක වන්දියක් ලබා දී ගෙදර යැවීමට යෝජනා කර තිබීම අසාධාරණ බව ද හෙතෙම කීය.

එම බළකායේ සෙබළුන්ට සාධාරණ වන්දියක් ලබා දී කරන දෙයක් කරන්නැයි ද විපක්ෂ නායක එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

සිවිල් ආරක්ෂක බළකාය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ සිවිල් ආරක්ෂක සෙබළුන්ට මෙවැනි සුළු මුදලක් දී ගෙදර යැවීම ගැන තමන් ද එකඟ නොවන බව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා මෙහිදී ප්‍රකාශ කළ අතර ඒ සම්බනධයෙන් ජනාධිපති සමග සාකච්ඡා කරන බවත් හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ කියා සිටියේය –

සිවිල් ආරක්ෂක බළකායේ තිස්හතරදහසක් පමණ සේවයේ ඉන්නවා. ඒ සේවය රටට වැඩදායී ලෙස ගන්න ඕනා. මේ අය පන්සල්වල පමණක් 4500ක් ඉන්නවා. අලි වැටේ පන්දහසක් පමණ ඉන්නවා. තවත් අය රාජකාරි සීමාවෙන් පිටත ඉන්නවා. මේ ඇති කරගෙන තිබෙන සිස්ටම් එකේ සමහරු අවුරුද්දේම ගෙදර ඉන්නවා. පඩිය ගෙදරට යනවා. හැබැයි ඒ අය වී කිලෝ ගණනක් ගෙනත් දෙන්න විතරයි ඕනා. මෙහෙම දෙපාර්තමේන්තුවක් ගෙනියන්නේ කොහොමද කියලා මම නම් දන්නේ නෑ. මෙහෙම නම් ඉදිරියට ගෙනියන්න බෑ. ඉල්ලීමකුත් තිබෙනවා කාලයට කලින් විශ්‍රාම ගන්වන්න. වන්දියක් දෙන්න ඒ අය යන්න සූදානම් කියලා. දැන් තිබෙන සිස්ටම් එක අනුව ඒ අය පදිංචි දිස්ත්‍රික්කයේම සේවය කරන්නත් ඉඩ දෙන්න ඕනේ. ඒ නිසා මේක බරපතළ ප්‍රශ්නයක්. අපි වසරකට රුපියල් බිලියන 20ක් මේ දෙපාර්තමේන්තුව සඳහා වෙන් කරනවා. මේ ගැන පියවරක් ගන්න ගියහම එහි පළමු අදියර ටිකක් අමාරුයි, වේදනාකාරියි, පීඩාකාරියි. ඒත් යම් සිස්ටම් එකක් හදන්න ඕනා. මේ අය පන්සලේ හෝ අලිවැටේ සේවය කරනවාද කියලා අපිට දැනගන්න තොරතුරක් නෑ. අවුරුදු දහය, පහළව, විස්ස එකම තැනේ ඉන්නවා. වැඩ කරනවාද නැද්ද කියලා නෑ. ඒ නිසා යම් ක්‍රමවේදයක් හදන්න වෙනවා. රාජකාරියක් තිබෙනවා නම් ඒක ගමේම ඉඳන් කරන්න බෑ. මේ ගැන යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනා. ඒ ගැන අපි ඉදිරියේදී කියන්නම්.

විපක්ෂ නායක – යුද්ධය කාලේ අපි නම් දන්නේ හතළිස් දහසක් කියලා. යුද්ධය කාලේ මේ අය ඉතා වැදගත් වුණා. මායිම් ගම්මාන ආරක්ෂා කරමින් විශාල සේවයක් මේ අය කළා. මේ ගැන යම් වැඩපිළිවෙළක් කරන්න පහුගිය ආණ්ඩුවලට බැරිවුණානම් ඒකට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පළි නෑනේ. මම කියන්නේ වයන්දියක් දෙනවා නම් ඒක රුපියල් ලක්ෂ තිහකට තක්සේරු කරන්න එපාය කියලයි. සාධාරණ වන්දියක් දෙන්න.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා – සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අවුරුදු ගණනක් කළ වැරැද්ද අපිටත් කරන්න බෑ. ඒ නිසායි අපි මේ ප්‍රතිසංවිධානය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අය කළ සේවයේ අඩුවක් අපි කියන්නේ නෑ. ඉතාම වැදගත් සේවාවක් ඒ අය මායිම් ගම්මාන ආරක්ෂා කරමින් සිද්ධ කළා. ඒ නිසා තමයි 2009න් පස්සේ මේක දෙපාර්තමේන්තුවක් කරලා සේවකයන් ස්ථිර කළේ. හැබැයි වැඩපිළිවෙළක් නැතිව අයාලේ යන්න දෙන්න බෑ. ඒ නිසා අපට සිදු වෙනවා යම් ක්‍රමානුකූල බවක් කරන්න. අතීතයේ කරපු වැරදි එහෙම්ම කරගෙන යන්න බෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *