ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ නීතියට හිස නැමිය යුතු බවත්, ඔවුන්ටද බදු ගෙවීමට තිබෙනවා නම් ඒ නීතියට එකඟව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන පවසනවා. ඒ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා ටෙස්ට් නායකයන් වන චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා බදු ගෙවීම්වලින් ඔවුන් ඉවත්කරන්න යැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දක්වමින්.
අදාළ පෙත්සමෙන් නායකයන් දෙපළ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.
මෙම පෙත්සමේ කරුණු තහවුරුකිරීම සඳහා අද (28) කැඳවීමට නියමිතයි.
“මම පෞද්ගලිකව හිතනවා රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතියට හිස නමන්න ඕන. රටේ ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම්…අපි නීතියට එකඟවෙලා නීතිගරුක වෙන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොතරම් ලැබෙනවාද කියන්න පෞද්ගලිකව මම දන්නේ නෑ. මම ක්‍රිකට් ක්‍රීඩාකරන කාලයේ මට හොඳ වේතනයක් ලැබුණා. දැන් විනිශ්චයකාරවරයෙක් ලෙසත් හොද වේතනයක් ලැබෙනවා. මම හිතනවා ජීවත්වීමට හැකි වේතනයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා දෙනවා” යැයි ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන කියා සිටියා.