දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය වර්ෂයේ (2025) අගභාගයේ දී ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වුවද දැනට පවතින ඉදිරි ආර්ථික දර්ශක අනුව ආර්ථිකයේ ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.
වාණිජ බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතන මගින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය ඉකුත් වර්ෂයේ දී අඛණ්ඩව කැපී පෙනෙන ලෙස ප්‍රසාරණය වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි. ඉහළ යමින් පවතින ආර්ථික ක්‍රියාකාරකම් සහ වාහන ආනයනය ඉහළයෑම මධ්‍යයේ ණය සඳහා පවතින ඉල්ලුම ඉහළයෑම මේ මගින් පෙනී යන බව ද මහ බැංකුව පවසයි.
සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව සිදුකරනු ලබන නැවත ගොඩනැගීමේ කටයුතු හේතුවෙන් ණය වර්ධනයේ මෙම ප්‍රවණතාව අඛණ්ඩව පවතින බවට මහ බැංකුව අපේක්ෂා කරන බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.
පසුගිය වසරේ විශාල ණය සේවාකරණ ගෙවීම් සිදුකළ ද 2025 වර්ෂය අවසන් වන විට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ බව ද මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.