අනියම් බිරිදගෙන් ගුටි කෑම ඇතුළු සිද්ධින් පොලිසියේ 153කට වෙයි

ගත වූ මාසය හය තුළ පළාත් නවයේ සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනකු, උප පොලිස් පරීක්ෂකවරුන් දහතුන් දෙනකු ඇතුළු පොලිසියේ එකසිය පනස්තුන් දෙනකු පහරකෑමට ලක්ව ඇත.

මේ අතර සැරයන්වරු අසූ එකක් හා පොලිස් කොස්තාපල්වරුන් පනස්හතරක්ද වේ. මෙම පිරිසෙන් 143 ක්ම නිල පොලිස් රාජකාරි ඉටු කිරීමට යෑමේදී පහරකෑමට ලක්ව තිබේ. පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා අනියම් බිරියගේ නිවසේදී පහරකෑම හැර අනෙක් සිදුවීම් නවය නිවසට යන මොහොතේ හා රාජකාරී නොවන අවස්ථාවල පහරකෑමට ලක් වූ සිදුවීම්ය. මෙම මාස හයට වැඩිම පොලිස් නිලධාරින් පිරිසක් පහර කෑමට ලක්ව ඇත්තේ බස්නාහිර පළාතෙනි. සිදුවීම් විසිඅටකදී තිස්එක් දෙනකු පහර කෑමට ලක්ව තිබේ. එම පිරිසට සැරයන්වරුන් දහතුනක්, කොස්තාපල්වරුන් 14 ක්, පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු හා උප පොලිස් පරීක්ෂකවරයකුද අයත්ය.

මීළඟට වැඩිම පිරිසක් පහර කෑමට ලක්ව ඇත්තේ වයඹ හා උතුරු මැද පළාත්වලිනි. එම පළාත් දෙකෙන්ම සිදුවීම් දොළහ බැගින් සිද්ධීන් විසි හතරක් වාර්තා වී ඇත.

මධ්‍යම පළාතෙන් පහරකෑමේ සිද්ධීන් දහයක්ද, නැගෙනහිර පළාතෙන් සිද්ධීන් අටක්ද වාර්තා වී තිබේ.

උතුරු පළාතෙන් සිදුවීම් පහක් වාර්තා වී ඇත. එහිදී උප පොලිස් පරීක්ෂකවරියක හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක ද පහර කෑමට ලක්ව තිබේ.

රාජකාරී ඉටුකිරීමට යෑමේදී නිලධාරින්ට පහරදීමට මුල්වන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සියලුම පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ඒ අතරේ රාජකාරිමය නොවන සිදුවීම්වලට මුල්වී පහර කෑමට ලක්වූ නිලධාරින්ටද දැඩිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද නියෝග නිකුත් කර ඇත. රාජකාරී වේලාවේ බොහෝ පිරිසක් පහර කෑමට ලක්ව ඇත්තේ වරෙන්තුකරුවන් ඇල්ලීමට යෑම, යුක්තිය මෙහෙයුම් මත්ද්‍රව්‍ය වැටලීම් හා අනෙකුත් රාජකාරීන් සඳහා ගිය මොහොතේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *