හේතුව නොකියා පුද්ගලයෙකුගෙන් පොලීසියට කටඋත්තර ගන්න බෑ – වැඩබලන පොලිස්පති නියෝග කරයි

යම් පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබාගැනීමට යම් පුද්ගලයකු පොලීසියට කැඳවන අවස්ථාවකදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් එම පුද්ගලයා දැනුම්වත් කිරීමට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් චක්‍රලේඛයක් පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට මේ වන විට වැඩ බලන පොලිස්පතිවරයා කටයුතු කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

සමාජ මාධ්‍යයක පළ කරන ලද කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවූ බලශක්ති විශේෂඥයකු වන මහින්ද රැලපනාව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම කරන ලදි. අචල වෙංගප්පුලි, සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසියකට අනුව පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක තිසර, එම අංශයේ ස්ථානාධිපතිවරයා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට දුන් පොරොන්දුවකට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ පිළිබඳව සෑහීමකට පත්වන බැවින් පෙත්සම් විභාගය අවසන් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට විනිසුරු මඬුල්ල නියම කෙරිණි.

සමාජ මාධ්‍යයක තමන් සිදු කළ පළ කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් දුරකතන මාර්ගයෙන් තමාට දැනුම්දුන් බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

තමාට එරෙහිව පවතින පැමිණිල්ල කුමක් ද? තමන්ට එරෙහිව පවතින චෝදනා මොනවා ද? යනාදී කරුණු එම අවස්ථාවේදී පෙත්සම්කරු විසින් විමසා සිටිය ද ඊට අදාළ තොරතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමෙහි සඳහන් වේ.

තමන්ට එම තොරතුරු ලබා නොදීම මඟින් පොලිස් නිලධාරින් විසින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *