වැටුප් වැඩි නොවීමත් අඛණ්ඩව සේවයෙහි නිරත වීමට සිදුවීමත් ඇතුළු සේවා ගැටලු කීපයක් මුල් කරගෙන බන්ධනාගාර නියාමක නිලධාරීන් බොහෝ පිරිසක් සේවය අතහැර යාමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර ඉතිහාසය තුළ මීට පෙර මෙවැනි බරපතළ ගැටලුවක් උද්ගතව තිබී නැති බවද අනාවරණය වෙයි. මෙම ගැටලුව හේතු කොට ගෙන පසුගිය කාලය තුළ නියාමක නිලධාරීන් සියයකට අධික පිරිසක් එසේ සේවය අතහැර ගොස් විදෙස්ගතව ඇති බව ද එම තොරතුරුවලින් හෙළිවී ඇත.
මෙසේ සේවය අතහැර ගොස් සිටින නියාමකයන් බොහෝ පිරිසක් අලුතින් සේවයට එක්වූ වසර පහකට අඩු සේවා කාලයක් සපුරා ඇති පුද්ගලයන් බව ද දැන ගැනීමට ඇත.
එම දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වුව ද මෙම වැටුප් ගැටලුව හා අඛණ්ඩව සේවයෙහි නිරත වීමට සිදුවීම නිසා දැඩි මානසික ගැටලුවකට මුහුණපා ඇති නමුත් විශ්‍රාම වැටුප වෙනුවෙන් ඔවුන් එම ගැටලු ඉවසා දරාගෙන අපහසුතාවයෙන් වුව ද රාජකාරි කටයුතුවල නිරත වන බව ද දැන ගැනීමට ඇත.
යුක්තිය මෙහෙයුම හේතුවෙන් සැකකරුවන් විශාල පිරිසක් බන්ධනාගාරගත වන මොහොතක නියාමක නිලධාරීන් බොහෝ පිරිසක් එසේ සේවය අතහැර යාම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැරිය නොහැකි ගැටලුවක් බවට පත්ව ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.
මේ පිළිබඳව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ, මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ එවැනි ගැටලුවක් උද්ගතව ඇති බව ය.