හෘදය රෝග අවදානම කලින් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාව නිපදවූ වෛද්‍ය උපකරණය සාර්ථකව බහරේනයේදී අත්හදාබලයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘JENDO’ වෛද්‍ය උපකරණය බහරේනයේදී සාර්ථකව අත්හදා බලා තිබේ.

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරමින් හෘද රෝග කල්තියා හඳුනාගත හැකි, ශ්‍රී ලංකාවේ නව නිපැයුමක් වන ‘JENDO’ වෛද්‍ය උපකරණය බහරේනයේ කිංග් හමාඩ් අමෙරිකානු මිෂන් රෝහලේ දී (King Hamad American Mission Hospital) සාර්ථකව අත්හදාබලා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව මේ වැඩසටහන සඳහා පහසුකම් සලසා ඇත. ඉංජිනේරු සහ ජෛව වෛද්‍ය නව නිපැයුම්කරු කීර්ති කොඩිතුවක්කු මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මේ නවීන පරීක්ෂණ පද්ධතිය නිපදවා තිබෙන අතර ශරීරයට ඇතුළු නොවන (non-invasive) භෞතික විද්‍යාත්මක සංඥා විශ්ලේෂණය මඟින් රුධිර නාළවල අසාමාන්‍යතා සහ හෘදය රෝග අවදානම කල්තියා හඳුනා ගැනීමට මේ තාක්ෂණය මඟින් හැකියාව ලැබේ.

පෙබරවාරි 23 සිට 25 දක්වා පැවති මේ නියමු ව්‍යාපෘතියේදී රෝහල් පරිසරයක මේ උපකරණය භාවිත කිරීමේ හැකියාව සහ සායනික ඒකාබද්ධතාව පිළිබඳව ඇගයීමට ලක්කර ඇත.

බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය පෙන්වා දෙන්නේ මේ සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍යය සහ වෛද්‍ය නවෝත්පාදන ක්ෂේත්‍රයේ වර්ධනය වන හැකියාව මැනවින් ප්‍රදර්ශනය වන බවයි. JENDO උපකරණය මීට පෙර 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති රන් සම්මානයෙන් ද පිදුම් ලබා ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සෞඛ්‍ය තාක්ෂණය ජාත්‍යන්තරයට හඳුන්වා දීමේ ප්‍රයත්නයක වැදගත් පියවරක් බව ද විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *