වැට් බදු අනුපාත ඉහළ දැමීම හේතුවෙන්, ජනවාරි මාසයේ දී රාජ්‍ය ආදායම 25% කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසයි.
ජනවාරි මාසයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලිය 219 ක් වූ අතර, එම ඉලක්කය පසුකර යාමට රජය සමත්ව තිබේ.
ජනවාරි මාසයේ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 274 කි.
ජනවාරි මාසයේ දී රේගුවෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 114 කව පැවති අතර, එම ඉලක්කය පසුකර ගොස්, රුපියල් බිලියන 121 ක් රාජ්‍ය ආදායමට එක් කිරීමට රේගුව සමත්ව තිබේ.
සුරාබදු වලින් ජනවාරි මාසයේ දී රුපියල් බිලියන 12 ක් ලැබෙනු ඇතැයි ගණන් බලා තිබුණු අතර, එම සීමාව ඉක්මවා ගොස්, රුපියල් බිලියන 14 ක ආදායමක් ඉපැයීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිව තිබේ.
එමෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද අපේක්ෂිත ඉලක්ක පසුකර ඉහළ ආදායමක් එකතු කර දීමට සමත්ව තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 88.9 ක් රාජ්‍ය ආදායම එක්කරනු ඇතැයි අපේක්ෂා කර තිබුනද, එම දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 114 ක මුදලක් ජනවාරියේ දී රාජ්‍ය ආදායමට එක්කර තිබේ.