වායුගෝලයේ රැඳී ඇති ජල වාෂ්පවලින් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට අනුරාධපුර, තඹුත්තේගම, සෝලම පදිංචි ඩබ්ලිව්.එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාල සමත්වී ඇත.
මේ නව නිපැයුම වන වාතය මඟින් ජලය නිපදවීමේ යන්ත්‍රයෙන් පැය හතර හමාරකදී සෙල්සියස් අංශක 34කදී පමණ ජලය ලීටරයක පමණ ප්‍රමාණයක් නිපදවයි. මේ සඳහා භාවිත කෙරෙනුයේ කුඩා සෝලා පැනලයකි.
කිලෝග්‍රෑම් එකහමාරක පමණ බරකින් යුත් මේ යන්ත්‍රය කොටස් තුනකට වෙන්කර තබා ගනිමින් වුවද භාවිත කළ හැකිය. ඕනෑම ස්ථානයකට පහසුවෙන් රැගෙන යා හැකි අයුරින් මෙය නිපදවා ඇත. හිරු එළිය ඇති ස්ථානවලදී ජලය එක්රැස් වන අතර රාත්රියේදී සෝලා පැනලය වෙනුවට විදුලිය ලබාදීමෙන්ද ජලය නිපදවිය හැකි වීමද මෙහි විශේෂත්වයකි.
ඇගයීමට පමණක් ලක්වී ඇති හර්ෂක නව නිර්මාණ ව්‍යවසායක තෝරා ගැනීමේ රූපවාහිනි රියැලිටි වැඩසටහන්වලදී පවා ජයග්‍රහණය කිරීමෙන් පසු එම ආයතන මඟින් ශිෂ්‍යත්ව පවා ලබාදීමට පොරොන්දු වුවත් මේ වන විට සහතික පත්‍ර පමණක් ඉතිරි වී තිබීම අද වන විට කනගාටුවට කරුණක් වී තිබේ.
හර්ෂක ප්‍රභාත් මූලික අධ්‍යාපනය සෝලම විද්‍යාලයෙන්ද, උසස් පෙළ අධ්‍යාපනය තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන්ද ලබා ඇති අතර තම පියාද නොමැතිව රැකබලාගත් තම මව, පාසල් ගුරුවරයා වූ නලින්ද සම්පත් සහ අනුරාධපුර රාහුල විද්‍යාලයේ රොෂාන් තෙන්නකෝන් මහතාත් ගෞරවයෙන් සිහිපත් කරයි.

චූල බණ්ඩාර කුලසේකර,
විජයපුර – ආනන්ද ජයසිරි